Home අද මැණික්වලින් 2025 දී ඩොලර් බිලියන 02ක්

මැණික්වලින් 2025 දී ඩොලර් බිලියන 02ක්

9929
0

මැණික් අපනයනය කිරීම තුළින් 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහා ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා පැවසීය.

මේ වසරේ ගත වූ මුල් මාස 7 තුළ පමණක් මැණික් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 312ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බවත්, මේ වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඩොලර් බිලියන 02ක ඉලක්කය සපුරා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇති නීතිවිරෝධී ලෙස මැණික් රටින් පිට කිරීම නැවැත්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව, විදේශිය ගැණුම් කරුවන්ට සෘජුවම මෙරට වෙන්දේසියෙන් මැණික් මිලට ගැනීමට හැකියාව ලබා දීමට අවශ්‍ය පියවර නුදුරේදීම ගන්නා බව ද විරාජ් ද සිල්වා මහතා පැවසීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘වන් ඕ වන් කතා’ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරාජ් ද සිල්වා මහතා මෙසේ ද සඳහන් කළේය,

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතට අනුව කැණීම් සිදුකිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ සිට මැණික් ගලක් අපනයනය කිරීම දක්වා නියාමන කටයුතු අධිකාරිය විසින් සිදුකරනු ලබනවා. ඒ වගේම වෙන්දේසි කටයුතු, අළෙවි කිරීම, පිටරට යැවීම දක්වා වූ නියාමන කටයුතු අප විසින් සිදු කරනවා. මේ සෑම දෙයක්ම කරන්නේ රට වෙනුවෙන්. එසේම දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් සිදු කරනවා. රටට හැකි තරම් විදේශ විනිමය ගෙන ඒම පිළිබඳව අපේ අවධානය යොමු කර තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල හයක් රට පුරා තිබෙනවා. මෙම කාර්යාල හරහා අධීක්ෂණ කටයුතු සිදු වෙනවා. පතලකින් මැණික් ගලක් හමු වුවහොත් ඔවුන්ට අවශ්‍ය ලෙස එය අලෙවි කරන්න බැහැ. රටේ නීතිය අනුව එය ප්‍රසිද්ධ වෙන්දේසියක තමයි අලෙවි කළ යුත්තේ

ඒ වගේම මැණික් ගලක් අලෙවි කිරීමෙන් පසුව ලැබෙන මුදලින් 2.5%ක මුදලක් රජයට හිමි වෙනවා. මෑත දිනයකදී කෝටි 40ක මැණික් ගලක් අළෙවි කළා. මේ දිනවල කැණීම් කටයුතුවල ද වර්ධනයක් දක්නට ලැබෙනවා. මැණික් ගල්වලට ලැබෙන මුදල මේ වන විට වැඩි වී තිබෙනවා.

මැණික් පතල් පවත්වාගෙන යාමේදී යම් යම් කොන්දේසි පනවා තිබෙනවා. අයථා විදිහට මැණික් පතල් පවත්වාගෙන යනවා නම් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට සිදු වෙනවා. මැණික් ගලක් සාමාන්‍ය පරිදි අපනයනය කරන්න බැහැ. ඒ වගේම මැණික් ගලක් සොයා ගැනීමෙන් පසු, එය ඔප දමා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය යටතේ තමයි වෙන්දේසි කළ යුත්තේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතියකින් තොරව සිදුවන මෙම කටයුතු පිළිබඳ සොයා බැලීමට මේ වන විට අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධව සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වසරේ ජනවාරි සිට ජූලි මස දක්වා පමණක් මැණික් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 312ක ආදායමක් උපයා ගෙන තිබෙනවා. නමුත් අපට මීට වඩා මුදලක් සොයා ගැනීමේ හැකියාව පවතිනවා

Previous articleක්‍රිකට් ගැන කතාකරන්න එපා – මට තර්ජනය කරනවා
Next articleජාතිවාද කෝලාහල ගැන කිසිම බුද්ධි තොරතුරක් ලැබී නෑ – රාජ්‍ය ආරක්ෂක ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here