Home අද උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

2168
0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ බලශක්ති අමාත්‍යවරයා අතර 2007 නොවැම්බර් 27 වැනි දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට (MOU) අනුව, “උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානයේ ෆරාබ් (FARAB) බලශක්ති සහ ජල ව්‍යාපෘති ආයතනය (FC) සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින් අත්සන් තබන ලද 2008 අප්‍රේල් 28 දිනැති ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC)
කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඒ අනුව, ෆරාබ් සමාගම විසින් සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයන්, සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සකස් කිරීම්, සියලුම ද්‍රව්‍ය, උපකරණ, යන්ත්‍රෝපකරණ සහ භෞතික ඉදිකිරීම් ප්‍රසම්පාදනය, ස්ථාපනය, පරීක්ෂා කිරීම සහ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිදු කර ඇත. සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක විය. ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව (EDBI) පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කළේය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එම
කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි විය. එබැවින් අදාල කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමඟ රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

2010 මාර්තු 15 වැනි දින ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාව වන විට, ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත දිනය 2015 මාර්තු 15 වැනිදා ලෙස දැක්විණ.

නමුත් ප්‍රධාන වශයෙන් අනපේක්ෂිත ලෙස ප්‍රධාන උමඟට (Headrace tunnel) ජලය ඇතුළු වීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙන්ම සමාජ බලපෑම්, මූල්‍ය අභියෝග ගෝලීය ගැටලු සහ ඉදිකිරීම් කාලය තුළ ඇතිවූ Covid-19 වසංගතය, හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර ව්‍යාපෘතියේ අඩුපාඩු සහ වගකීම් කාලය සමඟ මුළු කාලසීමාව 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.

මෙම ව්‍යාපෘතිය 2024 පෙබරවාරි සහ මාර්තු මාසවලදී එහි මූලික ක්‍රියාත්මක කිරීමේ අදියර සම්පූර්ණ කර ඇති අතර ඒකක 01 සහ 02 ජාතික ජාලය සමඟ සාර්ථකව සම්බන්ධ කර ඇත. 2024 අප්‍රේල් 1 වැනි දින අත්හදා බැලීමේ මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් ආරම්භ විය.

බණ්ඩාරවෙල සහ වැල්ලවාය බිම් මට්ටම් අතර උස මීටර් 700ක වෙනසක් ඇත. මෙවැනි උසකින් උමගක මාර්ගය වෙනස් කිරීම පහසු නැත. එසේම, ටර්බයිනවලට ජලය වත් කිරීම සඳහා ගැඹුරු පීඩන පතුවළක් ඉදිකර ඇත. මෙවැනි නිර්මාණයක් ලෝකේ වෙනත් ස්ථානයක දකින්න නොලැබෙන බැවින් මෙහි ඉදිකිරීම් අවසන් වූ එය අපූරු නිර්මාණයක් වනු ඇත.

ෆරාබ් සමාගමෙන් මෙම ව්‍යාපෘතිය පවරා ගැනීමෙන් පසු වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නන් ලෙස ක්‍රියා කරනු ලබන ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත භාර දෙනු ලැබේ.

විදුලිය උත්පාදනය කිරීමෙන් පසු, එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකෝට ආර ජලාශයට හරවා යවනු ලැබේ. ඉන්පසු එම ජලය උමා ඔය ජලාශයේ වම් ඉවුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ඇති හඳපානාගල ජලාශයට සහ මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තනමල්විල, බලහරුත වැනි ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා උමා ඔය දකුණු ඉවුරේ ඉදි කෙරෙමින් පවතින නව කුඩා ඔය ජලාශයටත් හරවා යවනු ලැබේ.මීටර් 60 කට වැඩි දිගකින් යුත් වාරි පද්ධතියක් ද ඉදිවෙමින් පවතී. මෙම වාරි ක්‍රම මඟින් යල සහ මහ දෙකන්නයේම දැනට පවතින වගා බිම් හෙක්ටයාර 1500කට සහ අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම් හෙක්ටයාර 4500කට වාරි ජලය
සැපයීමට අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන උමාඔය පහළ ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කිරිඳිඔය ද්‍රෝණියේ දීර්ඝ කාලයක සිට ගැටලුවක්ව පැවති ජල හිඟය සම්පූර්ණයෙන් අවසන් වන අතර, ලැබෙන ජලයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප්‍රදේශවල පානීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ගැටලුවට ද විසඳුම් ලබා දී තිබේ.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1962 වසරේදී ආරම්භ කෙරුණු අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට පෙර සිටම දෙරට අතර සබඳතා පවත්වා ඇත. අතීත පර්සියානු යුගයේ දී දෙරට අතර සබඳතා ප්‍රධාන වශයෙන් පැවැත්වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය මඟිනි. ඉරානය 1975 දී කොළඹ දී සිය තානාපති කාර්යාලය ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාව 1990 ජනවාරි මාසයේදී ටෙහෙරාන් නුවර සිය තානාපති කාර්යාලය පිහිටුවන ලදී. දෙරට ම සෑම ක්ෂේත්‍රයකම සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර බහුපාර්ශ්වික සංසඳවලදී එකිනෙකා කෙරෙහි සහයෝගයෙන් කටයුතු කරයි.

ඉරාන සංවර්ධන ආධාර ණය ආකාරයෙන් ලබා දෙනු ලබන අතර, ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම්, වාරිමාර්ග සහ බලශක්ති වැනි ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම කෙරෙහි එමඟින් අවධානය යොමු කරයි. ශ්‍රී ලංකා රජය දැනටමත් ඉරානයට ඇමෙරිකානු ඩොලර් 19,301,572.6ක මුදලක් ආපසු ගෙවා ඇති අතර දළ වශයෙන් ගෙවිය යුතු ඉතිරි මුදල
ඇමරිකානු ඩොලර් 35,246,022.56කි.

ශ්‍රී ලංකාව සහ ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි අනුබද්ධ ආයතනවල සමීපව කටයුතු කරමින් සිටින අතර දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් එකිනෙකාට සහයෝගය දක්වයි. ශ්‍රී ලංකාව සහ ඉරානය ආසියානු සහයෝගිතා කතිකාව (ACD) සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) මෙන්ම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) ඇතුළු ජාත්‍යන්තර/කලාපීය සංවිධාන කිහිපයක සාමාජිකයන් වේ.

දෙරට අතර මහන් එයාර් ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති අතර ඉරාන සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට මෙන්ම සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය වර්ධනය කිරීමට එමඟින් දිරිගන්වනු ඇතැයි අපේක්ෂා කරේ. 2022 දී ඉරානය ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර සංචාරකයින් පැමිණෙන රටවල් ලැයිස්තුවේ 27 වැනි ස්ථානයට පත් වූ අතර එය 2021 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. 2023 ජුනි මාසය අවසන් වන විට ඉරාන සංචාරකයින් 5,973ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

Previous articleඉරාන ජනපති දිවයිනට
Next articleඉරාන ජනපතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here