Home අද ප්‍රාථමික සිසුනට අද සිට උදෑසන ආහාර වේල නොමිලේ

ප්‍රාථමික සිසුනට අද සිට උදෑසන ආහාර වේල නොමිලේ

3202
0

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු පාසල් දරුවන්ට පාසලේදී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ අද (25) සිට ආරම්භ කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී මෙම පාසල් ආහාර වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද (25) පැවැත්වෙන අතර, ඊට සමගාමීව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.

සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් පෝෂණවේදීන්ගේ නිර්දේශද සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ අනුව එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.

නීරෝගි ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මඟින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැඟීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිතය. රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අය වැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සෘජු මැදිහත් වීමෙන් මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව රු. 110/-දක්වා වැඩි කර ඇත.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය ඍජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිතව පවත්වාගෙන යෑමේ යන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම් හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යයන් පැවරී ඇත.

Previous articleවිදේශිකයන්ට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය
Next articleදකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට ලබාදීමට සුදානම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here