Home අද තාක්ෂණ, විද්‍යාත්මක සහ පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල අයවැයෙන්...

තාක්ෂණ, විද්‍යාත්මක සහ පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා

2729
0

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (10)  අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහා විද්වතෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් මහඟු සහායක් ලබාදිය හැකි මානව සම්පතක් රටට අහිමි වූ බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය

උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසු‍න්දර මහතාගේ සියවන ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

එසේම ජන්ම දින සැමරම් උත්සවය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දුන් අය වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර පවුලෙන් පිරිනැමුණු උපහාර පත්‍රය පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.

“උසස් අධ්‍යාපනය සහ සංවර්ධනයේ කාර්යභාරය” මැයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද ලෝකය ඉදිරියට යන්නේ කෘත්‍රීම බුද්ධිය සමඟයි. දැනට මාස කිහිපයකට පෙර කෘත්‍රීම බුද්ධිය ඉදිරිපත් කළ ප්‍රධාන සමාගමේ අධ්‍යක්ෂවරු අතර විශාල අර්බුදයක් ඇති වුණා. මොකද සීමාවක් නැතිව මෙය භාවිත කරයිද කියන ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ මීට මාස දෙකකට පමණ පෙර එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රටවල නායකයන් සියලු දෙනා කැඳවා එකඟතාවකට එළැඹුනා මෙය පාලනය කළ යුතුයි කියා. ඒ වගේම යුරෝපා සංගමයෙන් ඒ සඳහා පළමු නීතිය ඉදිරිපත් කරනවා කියලා ප්‍රවෘත්ති වාර්තාවක් පළවී තිබෙනවා මම දුටුවා. නමුත් මෙයින් අපට ඈත් වෙන්න බැහැ. මෙම තාක්ෂණය සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

ඒ අනුව කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය වෙනුවෙන් ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා. මම ඒ පිළිබඳ එම ක්ෂේත්‍රයේ පිරිසක් සමග සාකච්ඡා කළා. ඒ වගේම අනෙක් පිරිසත් සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. මේ අනුව ලංකාවේ පළමු වතාවට AI තාක්ෂණය ඉදිරියට ගෙන යාමේ වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා.

එපමණක් නොවෙයි තවත් රුපියල් බිලියන 08ක් වෙන් කර තිබෙනවා විද්‍යා සහ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට. කිසි දිනක මෙලෙස මුදල් වෙන් කර තිබුණේ නැහැ. අප ඉදිරියට යනවා නම් විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම දේශගුණික විපර්යාස, හරිත බලශක්තිය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව විශාල ආයෝජන දෙකක් දැනට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.

සූර්ය බලය, තාප විදුලි බලය සහ සුළං බලය යන පුනර්ජනනිය බලශක්තිය සමග අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. නමුත් එකම ප්‍රශ්නය වී තිබෙන්නේ තවමත් බොහෝ අය පුරුදුව සිටින්නේ ගල් අගුරු ගෙන ඒමට සහ තාප විදුලි බලාගාර ඇති කිරීමට. මෙය නතර කිරීම තමයි විශාලම ගැටලුව වී තිබෙන්නේ. මොකද ඒකට හේතුව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ. නමුත් මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ඊට බාධා ඇතිවිය හැකියි. නමුත් අප ඉදිරියට යා යුතුයි.

හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. දකුණු ඉන්දියාවේ තෙලංගනා, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ බැංග්ලෝ වල විශාල ඩිජිටල් ආර්ථිකයක් තිබෙනවා. අපේ රටටත් එය ගෙන ආ යුතු නිසා නව ආයතන කිහිපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. පළමුව මෙම විද්‍යා හා පර්යේෂණ කටයුතු සඳහා වෙන් කර ඇති බිලියන 08ක මුදල වියදම් කිරීම සඳහා Technology and Innovation Council නමින් ආයතනයක් ඇති කරනවා. තාක්ෂණයෙන් වාණිජ්‍ය ප්‍රයෝජන ලබාගැනීම එයින් සිදු කෙරෙනවා. මෙම වෙන් කර ඇති රුපියල් බිලියන 08 එක් එක් අංශවල දියුණුවට යෙදවීම එම ආයතනයට පැවරෙනවා.

ඒ සමග ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාමට ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එහි කොටසක් ලෙස AI කේන්ද්‍රය ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු නව විද්‍යාත්මක ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ඇති කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇති වෙනවා. යැයි ද පැවසීය.

 

Previous articleVAT බදු සංශෝධනය අද යළිත් පාර්ලිමේන්තුවට
Next articleVAT වැඩි ඡන්දයෙන් සම්මතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here