Home අද ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය ගැන ලෝක බැංකුව සහ IMF ප්‍රධානීන්ගේ...

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය ගැන ලෝක බැංකුව සහ IMF ප්‍රධානීන්ගේ පැසසුමට

2731
0

අභියෝගාත්මක කාල පරිච්ඡේදය අවසන් කොට වර්තමානය වන විට ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය,ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගේ පැසසුමට ලක්ව තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයේ දී පැවැත්වෙන ලෝක බැංකුව සහ ජාත්‍යත්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවට සමගාමීව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ඉහළ මට්ටමේ සාකච්ඡා රැසකට එක්ව තිබෙන අතර එම සාකච්ඡාවල දී ශ්‍රී ලංකාව පැසසුමට ලක්ව තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහත්වරුන් ඇතුළු මෙරට දූත පිරිස අතර සාකච්ඡාවක් IMF/WB වසර මැද සමුළුවට සමගාමීව පැවැති අතර ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා මහතා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර තිබෙන අතර මෙහිදී මෑතකාලීන සමාජ-ආර්ථික වර්ධනය සහ වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රී ලංකාව කළ කැපකිරීම එහිදී පෙන්වා දුන් බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය, වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය (BCIU) සමඟ වොෂින්ටන්හි සාකච්ඡාවකට එක් වූ බවද ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙහිදී ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඇති අවස්ථා පිළිබඳව කේන්ද්‍රගත වූ අතර අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය,පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මය සහ තාක්‍ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල උපායමාර්ගික ආයෝජන මඟින් තිරසර ආර්ථික වර්ධනයක් ළඟාකරගත හැකි අයුරු සාකච්ජා කෙරුණු බව ඒ මහතා පෙන්වා දෙයි.

මෑතකාලීන ආර්ථික හා අනෙකුත් ප්‍රතිසංස්කරණ, ප්‍රතිඵලවලට පරිවර්තනය වී ඇති ආකාරය ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා වත්මන් සාර්ව-ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ අවස්ථා පුළුල් කිරීමට ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගිතාව වැඩි කිරීමට සහභාගිවූවන්, පාර්ශ්වකරුවන් සහ ගෝලීය හවුල්කරුවන් දක්වන උනන්දුව එහි දී අවධාරණය කෙරිණි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සහ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මෙන්ම 2024 මාර්තු මාසයේ දී එළඹුණු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ 2 වැනි සමාලෝචනය අවසන් කිරීමට වන ඊළඟ පියවර පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ බව ඇමැතිවරයා සඳහන් කරයි.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී දුෂ්කර ප්‍රතිසංස්කරණ මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා හිමි විය. ලෝක බැංකුවේ විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මේ වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගතහැකි ආකාරය පිළිබඳ තොරතුරු සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට අයියර් මහතා එහි දී සහතික වූ බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

Previous articleනොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැක්කේ ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීමෙන් – ජනපති
Next articleNASA අඟහරු මෙහෙයුමට යන ශ්‍රී ලාංකීක විද්‍යාඥවරිය- පියුමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here