“JVP සහෝදරවරුනි දැන් සැපද ?” අසමින් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි අද (05) තනිව විරෝධතාවකට එක්ව සිටියේය.
ඔහු මෙලෙස විරෝධතාවක නිරතව සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ රජය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරයට සමගාමීව අත්සන් කිරීමට යෙදුණු ගිවිසුම් වලට එරෙහිව සහ ඒවායේ අන්තර්ගතය කිසිවක් ජනතාවට හෙළිදරව් නොකොට රහසේ අත්සන් කිරීම පදනම් කරගෙන බවද දැනගන්නට ඇත.
එසේම 1971 අප්‍රේල් 05 ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට රාජ්‍ය බලය අත්පත් කරගැනීමට අවිගත් නැගිටීමක් සිදුකළ අතර ඊට වසර 54ක් පිරෙනුයේද අද දිනටය.
දෛවයේ සරදම නම් ඉන්දීය ව්‍යාප්තවාදය නමින් රෝහණ විජේවීර විසින් පක්ෂ අධ්‍යාපන පංතියක්ද කුප්‍රකට ජවිපෙ පංති 5 ට එක්කර තිබූ අතර 88-89 අවිගත් රාජ්‍ය විරෝධි ත්‍රස්ත නැගිටීම සිදුකරණු ලැබුවේ ද ඉන්දු ලංකා ගිවිසුම ඇතුළු ඉන්දීය විරෝධය දඩමීමා කරගෙනය.
ඒ අවස්ථාවේ මෙරට 60000කට අධික ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වූ බවද පැවසේ.
කෙසේවෙතත් ඒ ජීවිත පරිත්‍යාගය පවා මායිම් නොකර ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු වාම හා ජාතිකවාදී බලවේග වල දේශපාලන බලපෑම හේතුවෙන් මෙරට පාලකයන්ට ඉටුකිරීමට නොහැකිව තිබූ ඉන්දීය අවශ්‍යතාව ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානයක ජනාධිපති වූ පසුබිමේ කිසිඳු විරෝධයකින් තොරව ලබාදී ඉන්දීය අගමැතිවරයා ට මෙරට විසින් විදෙස් නායකයකු වෙත පිරිනමන ඉහල ම ගෞරව නාමය ලබාදීම සම්බන්ධවද වමේ බලවේග අතර බලවත් විරෝධයක් පළකෙරෙමින් තිබේ.
මේ සම්බන්ධව වන විරෝධයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරියෙන් සිටින අතර ජෙහාන් අප්පුහාමි තනිව විරෝධතාවකට එක්ව සිටියත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහුද එම පක්ෂයේ හිතවතකු බවයි. කෙසේවෙතත් ජෙහාන් අප්පුහාමි ගේ හිතමිතුරු රංගන ශිල්පීන් වන ජගත් මනුවර්ණ සහ කලණ ගුණසේකර ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ අතර ජගත් මනුවර්ණ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.