වසර 23 කට ආසන්න කාලයක් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විවිධ දේශපාලන බලවේගයන්ගේ බලපෑම් හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකිව තිබූ සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (05) මීට සුළු වේලාවකට පෙර විවෘත විය.
සාම්පූර් බලාගාරය ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා වසර 2002 තරම් ඈතකට විහිද යන නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවීමෙන් පසුව පවසනු ලැබුවේ අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට තමන්ට හැකිවූ බවයි.
සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ඉන්දීය අග්‍රමාත්‍යවරයා අද මුල්ගල් තැබුව ද, මෙම ව්‍යාපෘතියට එරෙහිව ඇති ජනතා විරෝධය මෙතෙක් අවසන් වී නොමැති අතර අප්‍රේල් 5 වන දා ද සාම්පූර් ප්‍රදේශෙය් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉඩම අසලට රැස්වූ ප්‍රදේශවාසීන් පිරිසක් තම ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව විරෝධය පළ කළ බව වාර්තා වෙයි.
කෙසේවෙතත් අද පෙරවරුවේ ලංකාවේ ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්විණි.
අනතුරුව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව, බලශක්ති , ඩිජිටල්කරණ සහයෝගීතාව ඇතුළු ගිවිසුම් හුවමාරු කර ගැනීම ද සිදුවිය.
එහිදී වඩාත් සුවිශේෂ ගිවිසුම් ලෙස , බලශක්ති සහයෝගීතාව සඳහා වන ගිවිසුම , ත්‍රීකුණාමලය සංවර්ධනය කිරීම සඳහා, ඉන්දියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ත්‍රෛයිපාර්ශවික ගිවිසුමට අත්සන් තැබීම සහ ඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගිතා ගිවිසුම කැපීපෙනෙන බව විචාරක මතය වී තිබේ. මේ සමඟ ecta ගිවිසුම අත්සන් කිරීමට ද අනුර දිසානයක පාලනයට සිදුවන බවත් එවිට ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුටු සිහිනය අනුර දිසානයක පාලනය හරහා සම්පූර්ණ වන බවද ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” ගෞරව නාමය පිරිනැමීමටද ජනාධිපති අනුර දිසානයක කටයුතු කළේය.