Home අද පණ බේරගන්න මේ ප්‍රදේශ වලින් ඉවත් වෙන්න !

පණ බේරගන්න මේ ප්‍රදේශ වලින් ඉවත් වෙන්න !

135
0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන අතර අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (27) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

එහිදී ඔහු මෙසේ පැවසීය.

“මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතිනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර සහ බටහිර බෑවුම්වලට වැසි ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර කියන මේ ප්‍රදේශ සඳහා ඉවත්වීම සඳහා රතු නිවේදන නිකුත්කර තිබෙනවා. යම්කිසි ආකාරයකට කඳු නායයාම් තියෙන නිසා.

ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල සහ උකුවෙල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල නායයෑම අවදානමක් තියෙන නිසා එයින් ඉවත් වෙන්න කටයුතු කරන්න.”

මේ අතර නොසිලිකිළිමත්ව කටයුතු නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මාර්ගය ජලයෙන් යටවී ඇත්නම් ඒ හරහා ගමන් නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“නිවෙස්වල තියෙන විවිධ දේවල් ජලයේ ගසාගෙන යන්න පුළුවන්. ඒවා ගන්න උත්සාහ කරන්න එපා. සමහර විට ඔබගේ ජීවිතය ඒ තුළ අහිමිවෙන්න පුළුවන්. ජලයේ ක්‍රීඩා කරන්න එපා. දරුවන් ගැන දෙමාපියන් සැලකිළිමත් වෙන්න. ඔබගේ නිවෙස් ආපදාවලට ලක්වෙලා නම් ආරක්ෂිත කඳවුරුවලට යන්න. නිවෙස්වල ආරක්ෂාවට උපරිම කටයුතු කරනවා. ඩ්‍රෝන කැමරා මඟින් ඉහළින් ගිහින් සොර සතුරන් ගෙන් ආරක්ෂා කරගන්න හැකි සෑම කටයුත්තක්ම සිදුකරනවා. මෙහිදී වැදගත් වන්නේ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. මධ්‍යම කඳුකරයේ රතු නිවේදන තියෙන තැන්වලින් කරුණාකරලා ඉවත් වෙන්න. කඳුකරයේ විශාල තෙතමනයක් තියෙනවා. අවධානම් කියන ප්‍රදේශවලින් ඉවත් වෙන්න. කඳුකර ප්‍රදේශවල යන වාහන පාර අයිනට ගන්න එපා. මාර්ගයේ ඉස්සර කිරීමේ දී බස්රථ රියදුරන් අවධානය යොමු කරන්න ”

ඒ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන්ගේ සහ ජලාශ භාර තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇත.

රටේ ඇතිවි තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් මෙලෙස නිවාඩු අවලංගු කර තිබේ.

දැනට නිවාඩු ලබා සිටින නිලධාරීන් ඇත්නම් ඔවුන්ගේද නිවාඩු අවලංගු කළ බවත් ඒ අනුව ඔවුන් වහාම සේවයට පැමිණිය යුතු බවත් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.

Previous articleමහවිරු සැමරුම ගැන ඇමතිගේ ප්‍රකාශය විකෘති කරලා !
Next articleශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි : අලුත්ම නිවේදනය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here