Home අද අහෝ! සජිත්ගේ විපක්ෂ නායකත්වය

අහෝ! සජිත්ගේ විපක්ෂ නායකත්වය

2
0

1978 වසරෙන් විධායක ජනාධිපති ධූරය සඳහා ප්‍රධාන විපක්ෂ භූමිකාවෙන් තොරව අනුර කුමාර දිසානායක නැමැති දේශපාලන සාධකය ජනාධිපති ධුරය දක්වා ආගමනය සුවිශේෂී වූවකි.එමෙන්ම නොවැම්බර් මස 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය පසුගිය මහ මැතිවරණයට සමගාමීව ප්‍රබල පසුබෑමක් අත්කර ගැනීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ.

මීට හේතුව පෙර සඳහන් කළ විපක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාා තිබියදී ජනතාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ලද බොළඳභාවය සමග ජන බලවේගී පාක්ෂිකයන්ගේ මතයයි.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඡන්ද 2,771,984ක් හිමිකර ගනිමින් මන්ත්‍රී ධුර ආසන 54ක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය සමත් විය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර නායකත්වය සම්බන්ධයෙන් පැවති දීර්ඝ කාලීන අභ්‍යන්තර මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේ දී සමගි ජනබල වේගය පිහිටුවනු ලැබීය.
තම මහගෙදර නමැති එක්සත් ජාතික පක්ෂ කුඩු පට්ටම් කර දමා සමගි ජන බලවේගය පිහිටුවා ගත්තේ සජිත් ප්‍රේමදාසගේ බලලෝභී දේශපාලනය නිසාමය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය දේශපාලනික වශයෙන් කඳවුරු ද්විත්වයක් නියෝජනය කළ අතර ඔවුනොන් වෙතින් ජාතික මැතිවරණ සඳහා ඉදිරිපත් කළ අපේක්ෂකයන් මෙරට තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත්විය. ඉන් ඔබ්බට දිව ගිය අනුර කුමාර දිසානායක විපක්ෂ නායකවරයා සිටියදී පසුගිය වසර කිහිපය තුළ ප්‍රකට වන දේශපාලන භූමිකාව ජාතික ජන බලවේගය අති දැවැන්ත ජයග්‍රහණයක් දක්වා මෙහෙයවීය.

පසුගිය පාර්ලිමේන්තු සැසි වාර සෑම අවස්ථාවකදීම සජිත් ප්‍රේමදාස නමැති දේශපාලන සාධකය ප්‍රකට කළ අදහස් සහ යෝජනා පාක්ෂිකයන්ගේ මෙන්ම පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ උසුළු විසුළුවලට ලක් වූ බව සමාජ මාධ්‍ය පරිශීලනය කළ ඕනෑම අයෙකුට වැටහී යන තත්ත්වයකි.

එක්සත් ජාතික පක්ෂයේ දක්ෂිණාංශික දේශපාලන ගමන මළගමක් බවට පත් කළ විපක්ෂ නායකවරයා, සෑම අවස්ථාවකම පැවසූ රනිල් වික්‍රමසිංහගේ සහචර කණ්ඩායම් දේශපාලනය, වෙනුවට තෝරා ගත්තේද අතිශය පුද්ගලවාදී දේශපාලන ගමනකි. ඒ පිළිබඳව සමග ජන බලවේගයේ ඉහළ පෙළ දේශපාලනායකයන් අවස්ථා රැසකදීදී ඔහු සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.

දේශපාලන නායකයන් යනු බිම හැදෙන හතු වැනි දේවල් නොවේ.දේශපාලන පරණත භාවය ,පුළුල් දේශපාලන දැක්ම සන්ධානවාදී බව සංවිධානාත්මක බව යනාදී සියල්ලයි.මෙවැනි තත්ත්වයන් සජිත් ප්‍රේමදාස දිස් වූ අවස්ථාවක් නොමැති තරම්ය.සජිත් ප්‍රේමදාස බොහෝ විට මයික් ප්‍රේමදාස කෙනෙක් බවට පත්විය.ඔහුගේ දාර්ශනික බව ඔහුගේ දැනුම, ඔහුගේ කාර්යක්ෂම බව, ඔහුගෙ එඩිතර බව මමංකාරයෙන් පැවසූ මයික් ටයිසන් වරයෙකුගේ භූමිකාවක් බවට පත්විය. එහි ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ සජබේ මෙන්ම විපක්ෂයද අනාථ කර සජිත් ප්‍රේමදාස සැඟවී සිටීමයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 77 දෙනෙකුගෙන් 52 දෙනෙකු සජිත්ගේ නව සන්ධානයට එක්වු අතර ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය 2020 පෙබරවාරි වන දින නව සන්ධානයට එක් විය.එදින් සමගි ජනබල වේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කෙරුණ අතර පක්ෂ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර නම් කෙරුණි.

සමගි ජනබල වේගය පිහිටුවා මාස 06ක් ගතවීමෙන් අනතුරුව පැවති පළමු මහ මැතිවරණය ඉතා සුවිශේෂී එකක් විය. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රට තුළ මහජනතාවගේ ඉහළ ප්‍රසාදයක් හිමිවිය.

2020 වසරේ අගෝස්තු මාසයේදී පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද මිලියන 6,853,690ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ ආසන 145ක් හිමිකර ගනු ලැබූ අතර සමගි ජනබල වේගය ඡන්ද 2,771,980ක් (ඡන්ද ප්‍රතිශතය 23.9%) සමගින් පාර්ලිමේන්තු ආසන 54ක් හිමිකර ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වෙමිනි. ඒ අනුව විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමිවිය.

තෙවන පන්තියේ දේශපාලන ලෝකයක මෙහෙය වූ සජිත් ප්‍රේමදාස ආරම්භයේ සිට පසුගිය මහ මැතිවරණය දක්වාම ප්‍රකට කළේය බඩු බෙදන මට්ටමේ ප්‍රේමදාස මොඩලයකි. ස්වකීය පියාණන් විසින් දිගේලි කරනන ලද ගම්මුදාව වැනි ප්‍රජා ව්‍යාපෘතිවලින් පමණක් යැපීමට දක්ෂ වූ සජිත් ප්‍රේමදාස නූතන දේශපාලන ලෝකයට උපාය මාර්ගික නොවූ බඩු බෙදීමේ දේශපාලන ලෝකයක නිරත වූයේය. උපාය මාර්ගික මෙන්ම උපක්‍රමික නොවූ විපක්ෂනායකවරයාගේ අසාර්ථක භාවය පෙන්නු ප්‍රබල ස්ථානයක් බවට පත්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් පසු ධූරය පුරප්පාඩු වූ අනුත්ප්‍රාප්තික ජනපති ධූරයෙන් මගහැර යාමයි.හිටපු ජනාධිපතිවරයා රටින් පලා යාමෙන් පසු සමගි ජනබල වේගයට ,උද්ගතව තිබු ගැටලුකාරී තත්ත්වය හමුවේ රටේ පාලන බලය ලබා ගැනීමට අවස්ථාව තිබුණද, විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාසට එම අවස්ථාව ලබා නොගැනීම ගැන පක්ෂය අභ්‍යන්තරයෙන් චෝදනා ද එල්ල විය.

ජනාධිපතිවරයා මඟ හැර ගොස් රටට ජනාධිපතිවරයෙක් නැති අවස්ථාවකරට භාර ගැනීමට සිටි එකම පුද්ගලයා විපක්‍ෂනායකවරයා වුවත් ඔහු එම අවස්ථාව මඟ හැර යෑමෙන් ඔහුගේ නොහැකියාව මුළු රටටම එදා ඔප්පු කළේය මෙවන් පුද්ගලයෙකු රටේ විපක්ෂ නායක ධූරයට නොව ගමේ මරණාධාර සමතියක නායකත්වයකටවත් සුදුසු නැති බවජනතාවට එදා අවබෝධ විය .

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ‘අරගලයට’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයේදී විරෝධතාකරුවන් ගේ සහයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද අරගලයට සම්බන්ධ ඇතැම් පිරිස් පහර දීමට උත්සාහ දැරීම ද කැපී පෙනන සිදුවීමක් විය.සජිත් සිතා සිටිනාකාරයට ඔහු පොදු ජන නායකයෙකි.නමුත් සජිත් ප්‍රේමදාසට මෙම අර්ථකථනයේ නිවැරදි බව කවුරුන් හෝ අයෙක් මෙතෙක් පෙන්වාදී නොමැති බව වැටහේ.

මීට පැය 48කට පෙර ජාතික ජන බලවේගය ප්‍රකට කළ දේශපාලන දිශානතිය මේ රටේ දේශපාලන හැරවූම් ලක්ෂයක් බවට පත් විය.නායකයන් පොදු ජන වන්නේ එලෙසිනි.එදවස උතුර සහ දකුණ දිනා ගැනීමේ දේශපාලන වටපිටාව හිමි වී තිබූ එකම දේශපාලන පක්ෂය බවට පත්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂයයි.නමුත් එයද සන්ධානවාදී දේශපාලන රාමුවකි.එම තත්ත්වයන් අතික්‍රමණය කර පළමුවරට මෙරට දේශපාල ඉතිහාසයේ ජාතික ජන බලවේගී ඉතාමත් කෙටි කාලයක් තුළ උතුරු නැගෙනහිර හා වතුකරයේ දේශපාලන බලය තහවුරු කරගැනීමට සමත් විය.එනම් අනුරකුමාර දිසානායක කෙරෙහි දැක්වූ විශ්වාසනීයභාවයයි.සමාජ සුභසාධනය ආර්ථිකය සහ ජාතික ප්‍රශ්නය හමුවේ ඔවුන් දක්වන්නට යෙදුණු නිවැරදි අර්ථකථනය මනාව මෙරට සිංහල දෙමල මුස්ලිම් සහ වතුකරය ප්‍රජාව අවබෝධ කරගෙන තිබිණි.එවැනි තත්ත්වයන් සලකා බැලූ කළ සජිත් තවමත් සිටින්නේ ලදරු අවධියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලය හිමිව තිබු පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෙස රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අනුප්‍රාප්තිකව එදා පත් කෙරුණු අතර එදවස සමගි ජනබල වේගයේ ප්‍රධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඒ සමග පක්ෂයෙන් ඉවත්ව යන ලදී.මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවට සහය දීමට එක්වීමත් සමග සමගි ජනබලවේගය තුළ යම් දෙදරීමක් ඇතිවිය.

මීට අමතරව සමගි ජන බලවේගයේ පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල, සරත් ෆොන්සේකා, ඩයනා ගමගේ, ඒ. එච්. එම්, ෆවුසි, වඩිවෙල් සුරේෂ්, අරවින්ද් කුමාර්, එම්. වේලුකුමාර්, කුමාර වෙල්ගම, අලි සබ්රි රහීම්, එස්.එම්.එම්. මුෂාරෆ් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයක දී පක්ෂයේ නායකත්වය විවෙචනය කරමින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමටත්, ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමටත් එක්විය.

සමගි ජනබල වේගයේ සභාපතිවරයෙකු මෙන්ම මන්ත්‍රීවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.

තමන්ට පාර්ලිමේන්තුවේදී කතා කිරීමට කාලය වෙන් කිරීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මැලි වූ බවත් ආණ්ඩු පක්ෂයට වෙන්ව තිබු කාලය තමන්ට ලබාදුන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එහිදී පැවසුවේය.

“මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටියා මට සභාවේ කතා කරන්න වෙලාවක් දෙන්න කියලා. එවිට මන්ත්‍රීවරයා මගෙන් ප්‍රශ්න කළේ මට සභාවේ කතා කිරීමට වෙලාවක් අවශ්‍ය නම් ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙනවා ද කියලයි. ආණ්ඩු පක්ෂයෙන් මට අද කතා කරන්න වෙලාවක් ලැබුණා. මම සභාව තුළ සැසි තුනකට වරක් පමණක් කතා කරන අතර දිනකට පැය භාගයකට වඩා වැඩි කාලයක් සභාවේ කතා කරන තවත් පිරිසක් සිටිනවා” යැයිද ෆොන්සේකා පැවසුවේය.

එමෙන්ම විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පාසැල් සඳහා සිදුකරන ආධාර බෙදා දීම සඳහා කැසිනෝ හිමියන්ගෙන් මුදල් ලබා ගන්නා බවට ද මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළේය.

තම පක්ෂයේ නායකයා වන සජිත් ප්‍රේමදාස සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හාස්‍යකට ලක් වීම ද සමගි ජනබල වේගය පක්ෂයට දේශපාලන වේදිකාවේදී මුහුණ දීමට සිදුවූ තවත් අසීරු සිදුවීමක් විය.

සජිත් ප්‍රේමදාස විසින් ජපන් භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් දේශපාලන වේදිකාවේදී ප්‍රකාශ සිදුකිරීම වැනි කරුණු අරඹයා ඔහුව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට ලක් කරන අවස්ථාවන් රැසක් පසුගිය වසර කිහිපයේදී දක්නට ලැබිණි.සජිත් ප්‍රේමදාස විටින් විටින් මාධ්‍ය සම්බන්ධව දක්වන්නට යෙදෙන ෆෝබියාව සහ අනුර කුමාර මාධ්‍ය සම්බන්ධව ප්‍රකට කරන්නට යෙදුණු චතුර හැකියාව මෙන්ම කථිකත්වය අනුරගේ දේශපාලන ගමන තව තවත් තීව්‍ර කර තිබේ.

ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී සමගි ජනබල වේගය නියෝජනය කළ සජිත් ප්‍රේමදාසට ලබා ගැනීමට හැකි වුයේ ඡන්ද 4,363,035ක් පමණක් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 32.76%ක් විය.

2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ඡන්ද 5,564,239ක් හිමිවූ අතර එය ප්‍රතිශතයක් ලෙස 41.99%ක් විය.

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667,240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 17,140,354 ලෙසයි.ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246ක් වන අතර වලංගු ඡන්ද සංඛ්‍යාව 11,148,006ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240ක් වේ.පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී චන්ද දායකයන් තවදුරටත් ඡන්දය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.ජාතික ජන බලවේගය වටා පෙර නොවූ විරූ තත්ත්වයක් වර්ධනය වී ඇත.සැබවින්ම මෙවර ජාතික ජන බලවේගය වටා එක් වූවන් අතර සමගි ජන බලවේගයෙන් කැඩුණු ඡන්ද රැසක් පවතී. රනිල් වික්‍රමසිංහට එදවස ජනාධිපතිවරණයද ලබා දුන් ඡන්ද ඔහුගේ ගෝල බාලයන් වෙත ලබාදීමට ඡන්දදායකයන් ප්‍රතික්ෂේප කර ඇත.
වත්මන් පාර්ලිමේන්තුවේ යනු තනි පක්ෂයක් විසින් අති බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් නූතන ඉතිහාසයේ ප්‍රබලතම පාර්ලිමේන්තුවය එවැනි පාර්ලිමේන්තුවක විපක්ෂයේ භූමිකාව
ඉදිරියට ගෙන යෑමට දක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මෙන්ම දක්ෂ විපක්ෂ නායකවරයකුගේ අවශ්‍යතාවය
මතුව ඇත.

කටමැත දොඩ වූ පුතානෝට ඉතිරි වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයේ මනාප 145611ක් පමණි.විපක්ෂය දුර්වල වී ඇතිවා පමණක් නොව දුරමුඛ අදූරදර්ශී විපක්ෂ නායකයෙකුද වෙසෙයි.අදෝමැයි…

 

විශේෂ ලියුම්කරුවකු විසිනි

Previous articleනව කැබිනට්ටුවේ වැඩකටයුතු අධීක්‍ෂණයට නව කමිටුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here