මෙරට ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු ඇති වූයේ දශක ගණනාවක සිටය. ඉඩම් නැති ජනතාවට ගොවි ජනපද ව්‍යාපාර වෙනුවෙන් රජයේ ඉඩම් ලබා දුන්නද ඒ ඉඩම්වල පූර්ණ අයිතිය පැවරුම් ලාභීන්ට හිමි වූයේ නැත. ස්වර්ණ භූමි, රන් භූමි වැනි විවිධ නම්වලින් ලැබුණු පැවරුම් සහතික මඟින් ඉඩම් භුක්ති විඳීමේ අයිතිය ලැබුණ ද ඒ අයිතිය පූර්ණ අයිතියක් නොවුණ අතර ඉඩම්වල පරම අයිතිය පැවරී තිබුණේ රජයටය. එහෙත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ඇරැඹෙන “උරුමය” වැඩසටහන මඟින් රජයේ ඉඩම් භුක්ති විඳින ජනතාව වෙත එහි පූර්ණ අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙන අතර එම වැඩසටහන “උරුමය” නමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ එම වැඩසටහන සහ ඉඩම් ආශ්‍රිත ගැටලු පිළිබඳ ඉඩම්
කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි.
රජය විසින් ඇති කිරීමට නියමිත ” උරුමය ” වැඩසටහන කියන්නේ කුමක්ද?
මෙම උරුමය වැඩසටහන ආරම්භ කරන්නේ 2024 වර්ෂයේදීයි. ඒ පිළිබඳව ආරම්භක උත්සවය නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි. එමඟින් රජයේ ඉඩම් භුක්ති විඳින සැමටම ඉඩම් අයිතිය පූර්ණ ලෙස ලැබෙනවා. ඇත්තෙන්ම මේ විදිහට පූර්ණ ඉඩම් අයිතිය ලබා දීම සිදු කළේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුවයි. ඒ අනුව ජනතාව වෙත ලොකු අයිතියක් ලැබීමට නියමිතයි. ජනතාව තමන් වෙත පූර්ණ අයිතිය නැතිව කාලයක් තිස්සේ විශාල ගැටලුවලට මුහුණ දුන්නා. මෙම උරුමය වැඩසටහනත් සමඟ ජනතාව වෙත ලැබෙන සහනය විශාලයි.
මෙරට ජනතාව වෙත තිබූ ඉඩම් අයිතිය 1890 වර්ෂයේදී නැති වුණේ මුඩුබිම් ආඥා පනත මඟිනුයි. එම ආඥා පනත මඟින් මෙරට තහවුරු කළ ඔප්පු නැති සියලු ඉඩම් රජයට පවරා ගනු ලැබුවා. ඇත්තෙන්ම එදා ජනතාව එයින් ලොකු අසාධාරණයකට ගොදුරු වුණා. පූජා ස්ථාන, විහාරස්ථාන වැනි තැන්වලට අයත් ඉඩම් හැර ජනතාව භුක්ති වින්ද ඉඩම් මුඩුබිම් පනත මඟින් රජයට පවරා ගැනීම සමඟ තමන් උපන් බිමේම ඉඩම් අඟලක් නැති පිරිසක් බවට ඔවුන් පත් වුණා. ඒ අනුව බොහෝ පිරිස් වෙත ඉඩම්වල පුද්ගලික අයිතිය අහිමි වුණා. මේ තත්ත්වය තුළ තමන්ගේ ගම්බිම්වලම ජනතාව අසරණයන් පිරිසක් බවට පත් වුණා. ඔවුන්ගේ ඉඩම්වල රජයේ වගා කටයුතු වන තේ, කෝපි වැනි වගා කටයුතු සඳහා යොදවනු ලැබුවා.
ජනතාව වෙත ඇති වුණු මේ අසාධාරණය නිවැරැදි කිරීමට ඉන්පසුව රාජ්‍ය මට්ටමෙන් මැදහත් වීම් සිදු වුණේ නැද්ද?
රජයේ ඉඩම් සංවර්ධනය සඳහා 1931 දී ඉඩම් සංවර්ධන පනත රජය විසින් ගෙන ආවා. එමඟින් රජයේ ඉඩම් ගොවිතැන් සහ නේවාසික කටයුතු සඳහා ජනතාව වෙත ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එහිදී ඉඩම්වල පරම අයිතිය රජය සතු වුවද ඒවා භුක්ති විඳීමේ අයිතිය ජනතාවට ලැබුණා. ඒ සඳහා රජයෙන් අවසර පත්‍රයක් ලැබුණා. එය ස්වර්ණ භූමි, රන් භූමි වැනි විවිධ නම්වලින් හඳුන්වනු ලැබුවා. මෙම හිමිකම් පත්‍ර මත පරම්පරා ගණනාවක්ම ජනතාව මෙම ඉඩම් භුක්ති වින්දත් ණයක් ලබා ගැනීමට හෝ වෙනත් විශේෂ දෙයක් ඉඩම සම්බන්ධයෙන් සිදු කරන්න ඕනෑ වුණාම විවිධ අපහසුතාවලට ලක් වෙනවා. ඇත්තෙන්ම මේ ගැන මෙතෙක් කවුරුත් අවධානය යොමු කළේ නැහැ.
එහෙත්, මෑතකදී වර්තමාන ජනාධිපතිතුමා මේ ගැන විශේෂ අවධානයක් යොමු කර කටයුතු කළා. ඒ අනුව ජනාධිපතිතුමාගේ අදහස බවට පත්ව තිබෙන්නේ ඉඩම්වල පූර්ණ අයිතිය ජනතාව වෙත කඩිනමින් ලබා දෙන්න ඕනෑ කියන කරුණයි. මෙමඟින් ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීම් සපිරීමක් විදිහට මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන්න පුළුවන්. මෙම වැඩසටහන නිසා ඉඩම් ලාභීන්ට ඒවායේ පූර්ණ අයිතිය ලැබීම සිදු වෙනවා. එය සුවිශේෂ දෙයක් විදිහට සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවෙයි.
එතකොට මෙතෙක් කල් ක්‍රියාත්මක වුණු ස්වර්ණ භූමි, රන් භූමි වගේ පැවරුම් ඔප්පු ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි වෙනවාද?
ඔව්. මූලිකව මේ වැඩපිළිවෙළ ආරම්භ වී ක්‍රමානුකූලව පැවරුම් ඔප්පු තිබෙන සියලු දෙනාට සාමාන්‍ය සින්නක්කර ඔප්පුවකට සමාන ඔප්පුවක් ලබා දෙනවා. ඒ ඔප්පුවෙන් සාමාන්‍ය සින්නක්කර ඔප්පුවකට සමානව සියලු අයිතිවාසිකම් තිබෙනවා. එහි ආරම්භයක් විදිහට පළමුව ලබන මසදී දසහසක ප්‍රමාණයක් සඳහා පූර්ණ අයිතිවාසිකම් සහිත ඔප්පු ලබා දීම සිදු කරනවා. ඉන් පසුව ක්‍රමානුකූලව සහ කඩිනම්ව ඉතිරි අය සඳහා ද මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
දැනට අවසර පත්‍ර ඉඩම් ලාභීන් කොපමණ ප්‍රමාණයක් මෙරට සිටිනවාද?
දැනට ලක්ෂ තිහකට කිට්ටු ප්‍රමාණයක් අවසර පත්‍ර සහ සහ එවැනි පූර්ණ අයිතිය නොලැබෙන භුක්ති විඳීමේ අයිතිය පමණක් තිබෙන ඔප්පු සහිත පිරිස් ඉන්නවා. මේ සැම දෙනාටම තිබූ පොදු ප්‍රශ්නයක් තමයි, මේ විදිහට විසඳීමට හැකියාව ලැබී තිබෙන්නේ. ඇත්තෙන්ම මෙය මෙරට අවුරුදු සියයකට වඩා කාලයක් ඉඩම් ලාභීන් මුහුණ දුන් ගැටලු වෙත ලැබුණු විසඳුමක් විදිහට හඳුන්වා දීමට පුළුවන්.
මේ උරුමය වැඩසටහන පිළිබඳව ජනතාවගේ පාර්ශ්වයෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද?
තමන්ට අර්ධව අයිති වෙලා තිබෙන ඉඩමක් පූර්ණ අයිතිය සහිත ඉඩමක් විදිහට තමන් වෙතම අයිති වෙනවාට කවුද අකැමැති වෙන්නේ. ඇත්තෙන්ම සියලු ජනතාව හොඳ ප්‍රතිචාර ලබා දෙනවා.
ගොවි ජනපද ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තුළත්, ක්‍රියාත්මක වුණේ මේ පැවරුම් ඔප්පු සංකල්පයමද?
ඔව්. 1931 පස්සේ තමයි, ගොවිජනපද සංකල්පය ක්‍රියාත්මක වුණේ. ඒ සඳහා එදා දුෂ්කර ප්‍රදේශ විදිහට තිබුණු ප්‍රදේශ මෙම ජනපද කටයුතු සඳහා යොදා ගත්තා. මින්නේරිය, ගල්ඔය, රාජංගනය වගේ තැන්වල තමයි ගොවි ජනපද ක්‍රියාත්මක වුණේ. ඒ ජනපදවලත් තිබුණු ප්‍රධාන ගැටලුව බවට පත් වුණේ තමන් නේවාසිකව සිටින වවන වගා බිම්වල භුක්ති විඳීමේ අයිතිය තිබුණත් පූර්ණ අයිතිය නොතිබීම. මේ ගොවි ජනපදවල මිනිස්සු පරම්පරා ගණනාවක් දුෂ්කර පරිසරයක පොළොව සමඟ හැපෙමින් රටට බත සැපයූවා. ඒත්, ඒ අයට තමන්ගේම කියලා ඉඩමක් තිබුණේ නැහැ. ” උරුමය ” වැඩසටහනත් සමඟ ඒ අසාධාරණය නිවැරැදි වීම ගැන අපට සතුටු වෙන්න පුළුවන්.
එතකොට මහවැලි ඉඩම්වලටත් “උරුමයෙන් ” සහන ලැබෙනවාද?
අනිවාර්යෙන්ම. උරුමය වැඩපිළිවෙළ මඟින් මහවැලි ඉඩම්වල සිටින ජනතාවටද ලොකු සහනයක් ලැබෙනවා. ඒ සඳහා මහවැලි සංවර්ධන අධිකාරියද මැදහත්ව කටයුතු කිරීමට නියමිතයි. මහවැලි ඉඩම් ලාභීන්ටද සින්නක්කර ඔප්පු ලබා දීමට හැකි ආකාරය ගැන කඩිනමින් සොයා බැලීමක් සිදු කරනවා.
අද දුම්රිය රක්ෂිත ඇතුළු රජයේ රක්ෂිත ඉඩම්වල විශාල පිරිසක් තමන්ගේ දෛනික ජීවන කටයුතු සිදු කරමින් සිටිනවා. එවැනි පිරිස් වෙතත් මේ සහනය ලැබෙනවාද?
රජයේ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවලට අයිති ස්ථාන සහ රක්ෂිත ඉඩම් සම්බන්ධව තිබෙන්නේ වෙනත් නීතියක්. ඒ නීතියට අනුව කෙනෙකුට අවශ්‍ය නම් මෙම තැන්වල වැඩ කරන්න පුළුවන්. එහෙත්, ඒ අයට කවදාවත් රජයේ රක්ෂිත ඉඩම්වල අයිතිය ලැබෙන්නේ නැහැ. උරුමය වැඩසටහනෙන් එවැනි රජයේ රක්ෂිතවල සිටින පිරිස් වෙත සහනයක් ලැබෙන්නේ නැහැ. රක්ෂිත ඉඩම් සේවා අවශ්‍යතා මත බදු මත ලබා දීම් සිදු කරනු ලබනවා.
රජයේ සෙසු ඉඩම් ව්‍යාපාර ද මහා පරිමාණ වගාබිම් වැනි කාර්ය සඳහා බදු දීමට පුළුවන් නේද?
ඒ සඳහා මෑතක් වන තුරුම අවුරුදු අනූනවයේ බදු ගිවිසුමයි ක්‍රියාත්මක වුණේ. එහෙත්, දැන් බදු ගිවිසුම් ක්‍රියාත්මක කරන්නේ අවුරුදු තිහකට ආවරණය වන පරිදියි. එහිදී අවශ්‍ය නම්, ඒ ක්‍රමය යටතේ ඉඩම්වලින් අවශ්‍යතා ඉටු කර ගැනීමට පුළුවන්. මේ විදිහේ ක්‍රම මඟින් මෙරට ඉඩම්වලින් හොඳ ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම අපේ රටේ ඉතාමත් සරුසාර වගේම වගාවට සුදුසු ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. දැන් කළ යුත්තේ ඒ ඉඩම් නිසි විදිහට සහ ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගැනීමයි.
ඉඩම් පිළිබඳ මාතෘකාවේදී අපට වඩාත් හුරු නමක් තමයි ” බිම් සවිය” ඇත්තෙන්ම දැන් ” බිම් සවිය ” වැඩපිළිවෙළේ තත්ත්වය කොහොමද?
බිම් සවිය කියන්නේ, උරුමය වැඩසටහනට සමාන වැඩසටහනක් නොවෙයි. එහෙත්, බිම් සවිය මඟින් විශාල කාර්ය ප්‍රමාණයක් ඉටු වෙනවා. අපේ රටේ විවිධ වර්ගීකරණ යටතේ ඉඩම් ඔප්පු තිබෙනවා. හවුල් ඉඩම්, නොබෙදූ ඉඩම් ඇතුළු වර්ග මෙයට ඇතුළත් වෙනවා. එහෙත්, කාලයක් සමඟ මේ ඔප්පුවල විවිධ අවුල් සහිත තැන් ඇති වෙන්න පුළුවන්. ඒවා නිසා මේ ඔප්පු හිමියන් විශාල අපහසුතාවලට ලක් වෙනවා. එහෙත්, බිම් සවිය වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම මඟින් එවැනි ආරවුල් ඇති තැන් නිවැරැදි කිරීමට හැකියාව ලැබෙනවා. ඇත්තෙන්ම මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වීම සුවිශේෂ වන්නේ ඒ නිසයි. තවමත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. මෙහි අරමුණ වන්නේ ඔප්පුව ගැන සොයා බලා අවශ්‍ය මිනුම් කටයුතු කර නීත්‍යනුකූල හිමිකම පිළිබඳ සහතිකයක් නීත්‍යනුකූල ඉඩම් හිමියාට ලබා දීමයි.
උරුමය වැඩසටහට අනුව බලපත්‍ර ඉඩම් ලාභියාට ලබා දෙන ඉඩම අවශ්‍ය ඕනෑම වෙලාවක විකුණා දැමීමේ අයිතියද හිමිකරු වෙත නීතියෙන්ම පැවරෙනවාද?
අනිවාර්යෙන්ම. තමන් කැමැති දෙයක් කිරීමේ අයිතිය මේ අනුව ඉඩම් හිමියාට තිබෙනවා. අවශ්‍යතාව අනුව ඉඩම් වෙනත් කෙනෙකුට සින්නක්කරව පැවරීමේ හැකියාව තිබෙනවා. එහෙත්, මම විශ්වාස කරන්නේ නැහැ අපේ රටේ සංස්කෘතිය අනුව මේ වගේ ඉඩමක් සම්පූර්ණයෙන්ම විකුණා දැමීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට සිදු වන්නේ තම දරුවකුට හෝ යැපෙන්නෙකුට ඉඩමේ අයිතිය පැවරීමයි. එහෙත්, කෙනෙකුට අවශ්‍ය නම් ඉඩම පිළිබඳව ඕනෑම තීරණයක් ගැනීමේ අයිතිය උරුමය වැඩසටහනෙන් පසු ලැබෙනවා.
එහෙත් ” උරුමයෙන් ” ඉඩමේ පූර්ණ අයිතිය ලැබීමට පෙර කෙනෙකුට නිසි විදිහට නිසි මිලකට පැවරුම් ඉඩමක් විකිණීමට හැකියාවක් නැහැ. ඒ වගේම ණයක් ගන්න ගියත් රජයේ නිලධාරීන් ගණනාවක් මුණගැසී අත්සන් රැසක් ලබා ගෙන තමයි අවශ්‍ය ණය ගැනීමට සිදු වෙන්නේ. ගමේ භාෂාවෙන් කියනවා නම්, මේ ණය අරන් ඉවර වෙද්දී ගත්ත කෙනාගේ පණ ගිහින්. ඒත්, පැවරුම් සහතික සඳහා නිසි උරුමය ලැබුණු පසු මේ කිසිදු දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. එහෙත්, සාමාන්‍ය නීතිය යටතේ තහනම් දේවල් කරන්න බැහැ. උදාහරණයක් විදිහට අස්වද්දනු ලබන කුඹුරක් ගනිමු. එවැනි කුඹුරක් හිතුමතේ ගොඩ කරන්න බැහැ. ඒක සාමාන්‍ය නීතියේ තියෙන දෙයක්. දැන් උරුමය වැඩසටහන යටතේ ලැබුණු ඉඩමක් හෝ කුඹුරක් ගනිමු. ඒවායේ වැඩ කළ යුත්තේ ද සාමාන්‍ය නීතිය යටතේයි.
උදිත ගුණවර්ධන
උපුටාගැනීම ‘දිනමිණ පුවත්පත