ලෝකයේ ප්‍රධාන පෙළේ ඛනිජ තෙල් සමාගම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම් බව ප්‍රකාශ වේ. තෙල් ආනයනය, ගබඩා කිරීම හා අලෙවිය සඳහා සමාගම් තුනකට අවසර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඛනිජ තෙල් සංස්ථාවට තිබුණ ලාංකේය ඒකාධිකාරය 2003 වසරේදී අවසන් විය. එවකට පැවැති ආණ්ඩුව ප්‍රධාන පෙළේ සමාගම්වලට මෙරටට පැමිණ ඉන්ධන බෙදාහැරීමේ හා විකිණීමේ අවසර නිකුත් කරන්නට තීරණය කළ අතර එහි පළමු අවස්ථාව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට හිමිවිය. චීනයේ සයිනොපැක් සමාගමටද දෙවැනි බාහිර ආයොජනයක් වශයෙන් යෝජනා කර තිබුණ නමුත් පසුව එය අත්හැර දමන ලද බව සඳහන් කළ යුතුය. අවුරුදු විස්සකට පසු ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයෙහි නිරත තෙල් සංස්ථාව එකල තිබුණ දරුණු අර්බුදයෙහිම පසුවේ.
වසර විස්සකට කලින් කරන්නට තැත් කරන ලද වෙනස්කම් දැන් අලුතින් සාකච්ඡා කිරීම අරඹා ඇත. ඛනිජ තෙල් කර්මාන්තයේ වෙනස්කම් ගැන දශක දෙකකට කලින් තීරණ ගැනීමට තිබුණ අවස්ථාව අහිමි වූ අතර ජනතාව ඒ සඳහා ගෙවන ලද වන්දිය අති විශාලය. දරුණු අලාභ, ඒවායේ පොලිය හා අකාර්යක්ෂම ව්‍යාපාරයක් අවසානයේදී මුහුණදී ඇති ව්‍යසනය වටහා ගැනීම වැදගත්ය. කෙසේ වෙතත් නැවත වතාවක් ඛනිජ තෙල් කර්මාන්තයේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව විරෝධතා හා අරගල සූදානම් කරන්නට ඉඩ තිබේ. ජාතික සම්පත් ආරක්ෂා කරන බලවේග නැඟී සිටිනු ඇත. දශක දෙකක් ප්‍රමාද වූ තීරණ දැන් ක්‍රියාත්මක කළහොත් වසර විස්සකට පසු සතුටුදායක ප්‍රතිඵල ලැබෙනු ඇත.
2002දී පැවැති තත්ත්වය ගැන අවධානයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව 2002 වසරේදී ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය රුපියල් බිලියන පහකි. ඒ වන විට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් අඩුවෙමින් පැවැතිණි. බැරලයක මිල ඇමරිකානු ඩොලර් 25-27 අතර තිබුණු බව දැක්වේ. අවුරුද්දකටම තෙල් ආනයනය සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 789කි.
තෙල් මිල ගණන් අඩු නමුත් දේශීයව අලෙවි කරන ඉන්ධන මිල අඩු කළ නොහැකි බව එකල පාර්ලිමේන්තුවේ ප්‍රකාශ වූ කරුණු අතර සඳහන්ය. විපක්ෂ දේශපාලනඥයෝ මිල අඩු නොකිරීම ගැන විශාල විරෝධතා පළ කර ඇත. එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තෙල් සංස්ථාවේ අභ්‍යන්තරය දක්වා ඇත. සහන පදනමකින් තෙල් අලෙවි කිරීම සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් තෙල් සංස්ථාව රාජ්‍ය බැංකුවලට ගෙවිය යුතු ණය රු. බිලියන 16.2කි. එම මුදල පියැවෙන තෙක් තෙල් මිල සංශෝධනය කළ නොහැකි බව දක්වා ඇත. එම ආණ්ඩුවේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාය. විශේෂඥ වාර්තා අනුව තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරන්නට යෝජනා කළ අතර ආණ්ඩු පක්ෂයෙන් පවා කැමැත්තක් තිබුණේ නැත. කෙසේ වෙතත් ඉන්දියන් ඔයිල් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයට එකඟ වී තිබේ. එම ආයෝජනයෙන් පසු තෙල් සංස්ථාවේ බර මඳක් අඩු වී ඇති බව පෙනෙන නමුත් විශාල පරිවර්තනයක් සිදුවී නැත.
2011 වසරේ සිට 2020 දක්වා අවුරුදු දහයක් තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 529කි. මෙම අලාභ පියැවීම සඳහා බැංකුවලින් ණය ලබාගෙන ඇති අතර එම ණය පියැවීම සඳහා භාණ්ඩාගාරය මුදල් නිදහස් කර තිබේ. මහජනතාවගෙන් අය කරන ලද බදු තෙල් සංස්ථාවට ගෙවා ඇත. මහා භාණ්ඩාගාරය ලබාගන්නා ණය පසුව අලුත් මුදල් නෝට්ටුවලින් පියවන ලද බව දැක්වේ.
තෙල් ගබඩා සහ තෙල් බෙදාහැරීම ඉන්දියාවට
දෙවැනි ලෝක යුද්ධය කාලයේ මිත්‍ර පාක්ෂික රටවලට අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉදි කර ඇත. තෙල් මෙටි්‍රක් ටොන් 12,100ක් ගබඩා කළ හැකි ටැංකි 99ක් එහි ඇත. මේවායෙන් සමහරක් විනාශ වී තිබිණි. 1957දී ත්‍රිකුණාමලය වරාය හා මෙම තෙල් ටැංකි රටට පවරාගෙන තිබේ. 2002 වසරේ ඉන්දියානු ඔයිල් සමාගම ශ්‍රී ලංකාවට කැඳවීම දිරිමත් කරනු සඳහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවේ ප්‍රයෝජනයට ලබා දෙන්නට යෝජනා කර ඇත. එය සාර්ථක විය. වසර තිස් පහකට තෙල් ටැංකි සංකීර්ණය බදු ගත් ඉන්දියන් ඔයිල් සමාගම වසරකට ඩොලර් ලක්ෂය බැගින් රටට ගෙවා තිබේ. මෙම ටැංකි කිහිපයක් පමණක් ප්‍රයෝජනයට ගෙන තිබිණි.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා ඉන්දියන් ඔයිල් සමාගමට අනුබද්ධව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පිහිටුවන ලද අතර පියවර දෙකකින් කරන ලද ආයෝජනය රුපියල් බිලියන දහයකි. ආරම්භයේදී තෙල් ෂෙඩ් සියයක් පවරන ලද අතර අලුතින් බලපත්‍ර නිකුත් කළ ස්ථාන ඇතුළුව ෂෙඩ් 215ක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත්ය. සමාගම සතු අයිතිය මෙරට තෙල් අලෙවියෙන් සියයට 16ක් වන අතර ලිහිසි තෙල් හා තාර ඇතුළු අනෙක් ද්‍රව්‍ය වෙළෙඳාමෙන් සියයට තිස් පහක් අයත් බව දැක්වේ.
තෙල් සංස්ථාවේ ෂෙඩ්වලින් කොටසක් අත්පත් කරගත් නමුත් ඒ හා සමාන්තරව සංස්ථාවේ අලාභයෙන් කොටසක්ද ආවරණය කරගන්නට මෙහිදී සමත්ව තිබේ. තෙල් බෙදාහරින ස්ථානවල පරිසරය වෙනස් වූ අතර තරගකාරීත්වයක් හට ගැනිණි. තෙල් සංස්ථාවේ වර්ජන හා බෙදාහැරීම අඩාල වූ අවස්ථාවල ඉන්දියන් ඔයිල් සමාගමේ කටයුතු පාරිභෝගිකයන්ට පහසුවක් විය. ආර්ථික අර්බුදය පැවැති පසුගිය කාලයේදී, ඉන්ධන ආනයනයට රජයට විනිමය හිඟ වූ අතර රට පුරා බරපතළ තෙල් හිඟයක් තිබිණි. මෙම සමාගම කරන ලද සෘජු ආනයන හා බෙදාහැරීම රට සම්පූර්ණයෙන් අඩාල වීම වළක්වන ලද අතර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්නට මහෝපකාරී වූ බව සඳහන් කළ යුතුය. තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම එකතුවෙන් ත්‍රිකුණාමලය ටැංකි සංකීර්ණය සඳහා අලුත් සමාගමක් ස්ථාපිත කර තිබේ. තෙල් පිරිපහදුව හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තෙල් වෙළෙඳාමට සැලැස්මක් මෙම සමාගම ඉදිරිපත් කරයි.
ලෝකයේ පස් වැනි ඉසුරුමත් සමාගම ලංකාවට
කැබිනට් තීරණය අනුව ප්‍රධාන පෙළේ සමාගම් තුනකට, ඛනිජ තෙල් කර්මාන්තය සඳහා අලුතින් අනුමැතිය ලබාදී ඇත. සයිනොපැක් සමාගම චීනයේ ප්‍රධාන ව්‍යාපාරයකි. 1998ට කලින් චීන ආණ්ඩුවේ ව්‍යාපාරයක් වූ අතර පසුව පෞද්ගලික සමාගමක් බවට හරවා ඇත. ආසියාවේ විශාලතම පිරිපහදුව හිමි මෙම සමාගම ලෝකයේ ඉසුරුමත් සමාගම් ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. මධ්‍යම අප්‍රිකාවේ ගැබොන්හි ඉන්ධන වෙළෙඳාමේ නිරත සයිනොපැක් සමාගම සුඩාන්වල තෙල් ළිං මිලදී ගෙන ඇත. සවුදි අරාබියේ ඇම්කෝ සමඟ වෙළෙඳ ගිවිසුමක් අස්සන් කර ඇති අතර පිලිපීනයටද ආයෝජනය කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයද ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබා ඇත. අභ්‍යන්තරිකව ව්‍යාපාර මෙහෙයවන මෙම සමාගම ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට එකක් නොවේ.
ආර්. එම්. පාක්ස් ආයතනය ජාත්‍යන්තර ෂෙල් සමාගමද සබඳතා ඇති ව්‍යාපාරයක් වන ඇමරිකානු ව්‍යාපාරයකි. මෙම සමාගම පසුගිය වසරේ සිය ව්‍යාපාරය වෙනත් සමාගමකට විකුණා ඇති බව අන්තර්ජාතික වාර්තා අනාවරණය කරයි. ටෙක්සාස්හි ව්‍යාපාර කරගෙන ගිය මෙම ආයතනය පසුව ෂෙල් සමාගමේ බෙදාහැරීම් අරඹන ලද අතර එයින් විශාල අවස්ථාවක් ලබා ගනී. වසර පහකට කලින් මෙක්සිකෝවේ තෙල් බෙදාහැරීමට හා අලෙවියට ඉදිරිපත්ව ඇති බව දැක්වේ.
මෙම සමාගම් අතරින් සයිනොපැක් සමාගමේ විශාලත්වය හා ආයෝජන හැකියාව ශ්‍රී ලංකාවට වැදගත් බව සඳහන් කළ යුතුය. සවුදි අරාබිය, පිලිපීනය හා ගැබෝන් රාජ්‍ය අතර පවතින සබඳතා අනුව ඉන්දියන් සාගරය ඔස්සේ චීනය දක්වා තෙල් ප්‍රවාහනය, පිරිපහදුව හා අලෙවිය වැනි විශාල අවස්ථාවක් ඇත. මෙවැනි ආයෝජනවලින් තාක්ෂණය, රැකියා අවස්ථා සහ විදේශ විනිමය ලැබේ. සිංගප්පූරුවට එකම තෙල් ළිඳක් හෝ නැත. ලෝකයේ ප්‍රධානතම පිරිපහදු අංගණ පවත්වාගෙන යයි. අලුත් වාර්තා අනුව පිරිපහදු කරන ලද ඉන්ධන අලෙවි කරන ප්‍රධාන රටවල් තුනක් අතරින් එකක් බවට පත්වන්නට හැකියාව ලැබී ඇත.
අනාගතය ගැන දැක්මක් සහිත සැලැස්මක්
ලෝක ප්‍රවණතා එක තැන නොපවතී. දශක ගණනකට කලින් ඉතාම වැදගත් අංශ අද පැත්තකට විසි වී තිබේ. සමාජ පමණක් නොව ආර්ථික පරිවර්තනයක්ද ඇත. පරිවර්තනය සමඟ එකතු නොවී සිටින්නට ශ්‍රී ලංකාවට අයිතියක් තිබේ. තමන්ට ලැබුණ හණමිටිය එලෙසම කරගසා ගෙන යා හැකිය. දශක දෙකක් ගත කර අවසන්ය. පසුගිය කාලයේ සිද්ධි ගැන අනාගත පරපුර දෙන තීන්දුව කෙරෙහි අද සැලකිලිමත් විය යුතුය. කලින් පරම්පරාවට කරගත නොහැකි වූ සංවර්ධනය ගැන අද අපට පශ්චාත්තාපයක් තිබේ. නිවැරදි ප්‍රතිපත්ති අනුව කටයුතු කළේ නම් අද ශ්‍රී ලංකාව දුප්පත් රටක් නොවේ. ආකල්ප අතින් දුප්පත් සහ ආයෝජන සඳහා අවස්ථාව සලසන්නට පැකිලෙන රටක අපේක්ෂා කළ හැකි ඉදිරි ගමන වේගවත් එකක් නොවේ.
දැන් පවතින ආර්ථික ව්‍යුහය අනුව රටට අවශ්‍ය ඉන්ධන ආනයනයට හෝ විදේශ විනිමය නැත. විනිමය අර්බුදය ඉහවහා ගිය කාලයේ ඉන්දියාවෙන් ආනයනය කළ ඉන්ධනවලට මුදල් ගෙවීම ප්‍රශ්නයක් වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ආධාරයෙන් කොටසක් ඉන්දියාවට ගෙවන බව දැක්වේ. මැති ඇමැතිවරු හා ඩුබායි, අබුඩාබි, ඉරානය, ඉන්දියාව හා චීනය යන රටවලට තෙල් ණයට ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරමින් සිටිති. ණයට ගන්නා තෙල්වලට ගෙවන්නේ කෙසේද? මහා භාණ්ඩාගාරයේ තොරතුරුවලට අනුව සපයන ලද ඉන්ධනවලට ගෙවන්නට වත්කමක් ඛනිජ තෙල් සංස්ථාවට නැත.
තෙල් කර්මාන්තයේ යෝජනා කරන අලුත් සංවර්ධනයේදී ශ්‍රී ලංකාව මතක තබා ගත යුතු අනෙක් පැත්තක්ද තිබේ. ජාත්‍යන්තර බලශක්ති රාමුව වෙනස් වෙමින් තිබේ. පොසිල ඉන්ධන අතහැර සූර්ය බලය කෙරෙහි නැඹුරු වෙමින් පවතින කාලයකි. සුළං බලාගාර හා හයිඩ්‍රජන් තාක්ෂණය ගැන අවධානය යොමු වෙමින් පවතී. ගල් අඟුරු, බොරතෙල් හා ගෑස් භාවිතය අඩු වනු ඇතැයි සැලකේ. මැදපෙරදිග රටවල් පවා වෙනත් ආදායම් මාර්ග කෙරෙහි උනන්දුවක් දක්වන කාලයකි. වසර 2050 වන විට බොරතෙල් ඉල්ලුම පහළ වැටෙතැයි පර්යේෂකයෝ දක්වති. එවැනි පසුබිමක වෙනත් පැති ගැනද සොයා බැලීම සුදුසුය. 1995 -2000 කාලයේදී ලෝකයේ වාර්ෂික බොර තෙල් ඉල්ලුම වැඩි වීමේ වේගය සියයට 1.3කි. එය වසර 2035න් පසු හරි අඩකින් පහත වැටෙනු ඇතැයි සැලකේ. ලෝකයේ බලශක්ති අවශ්‍යතාව වසරක් පාසා සියයට 30කින් ඉහළ යන්නට ඉඩ ඇති බව විද්‍යාර්ථීන් දක්වන ලද අතර එම කරුණුද සලකා බැලිය යුතු කරුණකි. එසේම සූර්ය බලශක්තිය වෙනුවෙන් ඇති ඉල්ලුම ඉදිරි වසර දහය තුළ සියයට 7.6කින් වර්ධනය වනු ඇති අතර එයින් පසු එහි වේගය තවදුරටත් වර්ධනය වීමට ඉඩ තිබේ. එයට හේතුව සූර්යකෝෂ ඇතුළු මෙවලම්වල මිල පහත වැටෙන අතර ඒ වන විට සූර්ය විදුලිය ගබඩා කරගත හැකි තරමට තාක්ෂණය දියුණු වනු ඇති බව කියැවේ.
අනිවාර්ය නිවාඩු යැවීම
ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
රට තුළ ඉන්ධන බෙදා හැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදු කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ඔවුන්ට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප කර ඇත.
අනෙක් සියලු ම නිලධාරීන් සේවයට වාර්තා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සහ අනෙකුත් සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස අදාළ නිවේදනයේ දක්වා තිබේ.
මේ අතර, අද ( 29) උදෑසන සිට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා ඇත. ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබේ. ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඔවුන්ට තවදුරටත් සහය වන බවත්, ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති බවත් ඇමතිවරයා එහි සදහන් කර ඇත.
කලබල වෙන්න එපා
ඉන්ධන සැපයුමේ හිඟය පිළිබඳව කලබල නොවන ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින අතර බෙදා හැරීම දිගටම සිදුවනු ඇති බවද එහි සදහන් වේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු සේවකයන්ට තම රාජකාරියට පැමිණීම බලහත්කාරයෙන් වළක්වාලීම හේතුවෙන් මීට පෙර ඉන්ධන බෙදාහැරීම ප්‍රමාද වූ බව හෙතෙම සදහන් කර ඇත. ඉන්ධන බෙදා හැරීම පර්යන්තවල සහ බෙදා හැරීමේ දී අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ද කටයුතු කර ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.
උද්ගෝෂණ වැඩවර්ජන නවත්වන්න
මේවනවිට රාජ්‍ය අංශය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකිරීම ඉතා සුදුසු බව මහජනතාව පිළිගෙන තිබේ. ඒසදහා ජනතාව කැමැත්ත පලකර ඇති අතර අරගලය නිසා සිදුවු යහපත් කාර්යක් ලෙස එය සඳහන් කළ හැකිය. මෙම තත්වය සැලල්ලට ගෙන උද්ගෝෂණ මැඩපැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු අතර අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකිරීමටද පෙළඹිට යුතුය.