ඉන්දියාවේ අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් මිලියන 553ක මුදල සම්බන්ධව යළි ඇගයීමක් සිදුකරන බව අමෙරිකානු ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසා තිබෙන බව වාර්තා වේ. ඒ අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අදානි සමාගමට සහ නිර්මාතෘ ගෞතම් අදානිට එල්ල වී ඇති චෝදනාවලින් ඊට යම් බලපෑමක් සිදුවේදැයි සලකා බැලීම සඳහාය.
අල්ලස් ලබාදීම සහ වංචාසහගත ලෙස ලාභ උපයාගැනීම ඇතුළු චෝදනා යටතේ ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකානු අධිකරණයක් මඟින් පසුගියදා සිතාසි නිකුත් කරනු ලැබීය.
මේ සමග අදානි සමාගමේ ඩොලර් බැඳුම්කරවල වටිනාකම වාර්තාගත ලෙස පහත වැටී තිබෙන අතර ගතවූ සතියේ කාර්තු දෙකකදී සමාගමට අහිමිවී ඇති වෙළෙඳපොළ වටිනාකමේ අගය අමෙරිකානු ඩොලර් බිලියන 27.9ක් ලෙස සඳහන් වේ.
ගෙවුණු වසර 20 තුළ දැවැන්ත ව්‍යාපෘති තම සමාගම වෙත ලබාගැනීමට ඉන්දීය රජයේ නිලධාරීන් වෙත අමෙරිකානු ඩොලර් මිලියන 265ක් අල්ලස් ලබාදීමත්, එමඟින් අමෙරිකානු ඩොලර් බිලියන 2ක ලාභයක් ඉපයීමත් යන චෝදනා අදානි සමාගමට එල්ල වී තිබේ.