Home අද නාමයෝජනා දුන් ජනපති ජනතාවට ලබාදුන් පොරොන්දුව

නාමයෝජනා දුන් ජනපති ජනතාවට ලබාදුන් පොරොන්දුව

916
0

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් සිදු කිරීමට තමා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

May be an image of 2 people and text

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ අද (15) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසළ මාර්ගය දෙපස රැස්ව සිටි ආධාරකරුවන් අමතමින්.

May be an image of one or more people, crowd and text

මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව ගෙන යාමට නොහැකි වනු ඇති බව බොහෝ දෙනා සිතූ රටක් වසර දෙකක් තුළ ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් ජනාධිපතිවරණය ද පැවැත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කළ තමාට රට මින් ඉදිරියට ගෙන යාමේ ශක්තිය ද ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

රට ආර්ථික අර්බුදයකට පත් වු අවස්ථාවේ එය විසඳීමට අත නොගැසු නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතු බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා එදා ගිනි ගත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යාමට තමා කටයුතු නොකළානම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන්නා.

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන විත් අද මැතිවරණයක් පැවැත්වීමට හැකි රටක් නිර්මාණය කිරීමට තමාට දායකත්වය ලබා දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ඇමතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුවට සහාය ලබා දුන් සියලුදෙනාටත්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළා.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවා.

May be an image of 6 people, crowd and text

මා මේ රට භාරගත්තේ 2022 ජූලි මාසයේදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය අත්පත් කරගෙන මගේ නිවස ද ගිනි තබා තිබු අවස්ථාවකයි. මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි එදා බොහෝ දෙනා සිතුවා. නමුත් මමත්, කථානායකතුමා ඇතුළු සියලුදෙනා පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැහැ. පසුව එම පාර්ලිමේන්තුව මා ජනාධිපතිවරයා ලෙස පත් කර ගනු ලැබුවා. යුද හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව එදා අපට පාර්ලිමේන්තුව ආරක්ෂා කර දුන්නා. නැත්නම් අද අපටත් බංග්ලාදේශයේ වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා.

ගිනිගත් රටක එම තත්ත්වය වළක්වාලමින් අද අප රට ඉදිරියට ගෙනවිත් තිබෙනවා. සිදු වූ විනාශයන් නැවැත්වීමට එදා විපක්ෂයේ සිටි කිසිවෙක් සහාය ලබා දුන්නේ නැහැ. ආණ්ඩුවට ඉවත්වන ලෙස පවසමින් ඔවුන් පැන ගියා. ආණ්ඩුවට පිංසිද්ධ වෙන්න අද ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. එවන් පිරිසක් ආණ්ඩුවක් භාරගැනීමට සුදුසුද කියා ඔබ තීරණය කළ යුතුයි. ඔවුන්ට රටක ප්‍රජාතන්ත්‍රවාදය භාරදිය හැකිද කියා තීරණය කළ යුතුයි.

එදා ඉන්ධන පෝලිම් තිබු රටක අද ඉන්ධන පෝලිම් නැහැ. ආහාර, ඖෂධ වෙනුවෙන් පෝලිම් තිබු රටක අද එම පෝලිම් නැහැ. දැන් ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. දැන් ජනතාවට ජීවත්විය හැකි රටක් ගොඩනඟා දී තිබෙනවා. නමුත් තවමත් ජනතාවගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳී නැහැ. ඒ පිළිබඳ මම කණගාටු වෙනවා.

එදා මේ රටේ දේශපාලන නායකයන් පැනලා ගියා. ආර්ථික ප්‍රශ්නය විසඳීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අද අප මෙම ගැටළු විසඳමින් රට ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. රට බංකොලොත් වීමට පෙර ජනතාවට නොදුන් සහන බංකොලත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව වුවත් අප ජනතාව වෙනුවෙන් අප ලබා දී තිබෙනවා. අස්වැසුම සහ උරුමය වැඩසටහන් හරහා ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඉදිරි වසරේ ජනවාරි මාසයේ දී එය තවත් රුපියල් දස දහසකින් හෝ පහළොස් දහසකින් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පන්තියේ බදු බර අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම නැවත රජයේ රැකියා ලබාදීම ආරම්භ කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. පුද්ගලික අංශයේ වැටුප් වැඩි වී තිබෙනවා. මේ අනුව රටේ ගොඩනැඟෙමින් පවතින ආර්ථිකය අප සියලුදෙනා එක්ව ඉදිරියට ගෙන යා යුතුයි. මේ ආරම්භ කළ වැඩසටහන තවත් වසර දෙක තුනක් ඉදිරියට ගෙන ගොස් මේ රටේ ජනතාව පොහොසත් කළ හැකි නව ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරන බව කිවයුතුයි.

අද අප ආරම්භ කර තිබෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් මේ රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරිමට මා කටයුතු කරනවා. ඒ සඳහා වූ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා මට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. රටේ නව ආර්ථික පරිවර්තනයක් සිදු කර මේ රටේ ජනතාවට මෙම හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා.””

Previous articleරිෂාඩ් තනිවේ – මන්ත්‍රී කණ්ඩායමම ජනපති රනිල්ට එක්වේ
Next articleගුවන්තොටුපොළට A/C බස් එපා – සංගමයක් විරෝධයේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here