Home අද NSBM වෛද්‍ය පීඨයට කැබිනට් අනුමැතිය. දෙස්-විදෙස් සිසුන් 500ක් බඳවා ගැනීමට පියවර

NSBM වෛද්‍ය පීඨයට කැබිනට් අනුමැතිය. දෙස්-විදෙස් සිසුන් 500ක් බඳවා ගැනීමට පියවර

2390
0

හෝමාගම එන්.එස්.බී.එම්. හරිත විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම ආයතනය සියයට 100ක් රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.

වෛද්‍ය පීඨය සඳහා අවශ්‍ය සායනික පහසුකම් ලබාදීම සඳහා හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට නියමිත අතර ඒ සඳහා සම්පූර්ණ වියදම එන්.එස්.බී.එම්. ආයතනය විසින් දැරීමට නියමිතය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙත් පූර්ණ අධීක්ෂණය හා නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට ද අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවා ගැනීමට අපේක්ෂිත බව ද ඇමැතිවරයා කීවේය.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීමට NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය දැනටමත් දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

Previous articleකිරිපිටි කිලෝවක් රු. 150කින් අඩුවෙන ලකුණු
Next articleරටේ ආර්ථිකය පිළිබඳ පෙර අය කළ වරද මං කරන්නේ නෑ – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here