Home අද හෙලිකොප්ටරය කැඩුණු දා බුදුරුවගල සිසුන්ට ජනපති දුන් පොරොන්දුව ඉටුකරයි

හෙලිකොප්ටරය කැඩුණු දා බුදුරුවගල සිසුන්ට ජනපති දුන් පොරොන්දුව ඉටුකරයි

1797
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් එම පාසල වෙත ප්‍රදානය කිරීම පෙබරවාරි 09 වෙනිදා එම විදුහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදීය.

හදිසියේ තම පාසලට පැමිණි අමුත්තා රටේ ජනාධිපතිවරයා බව හඳුනා ගත් සිසුන් මෙන්ම ගුරුවරුන්ද ඉමහත් ප්‍රීතියට පත් වී තිබේ. ඒ අවස්ථාවේ හෙලිකොප්ටර් යානය අසළට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහදශීලි කතාබහක නිරත වීමටද ඔවුන්ට අවස්ථාව හිමි විය. පාසලේ සහ අවට ප්‍රදේශය තුළ පවතින අඩුපාඩුකම් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ගෙන් විමසා ඇත.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. එම ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මණින් ඒ පිළිබඳව කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට ඒ අවස්ථාවේදීම උපදෙස් දුන්නේය.

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදි සංගීත භාණ්ඩ රැසක් ප්‍රදානය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

Previous articleඋරුමය අද දඹුල්ලෙන් ඇරඹේ
Next articleඅනුර ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here