Home අද ණය ගෙවීම් ආරම්භ වු පසු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත වැඩි...

ණය ගෙවීම් ආරම්භ වු පසු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත වැඩි දියුණු වෙනවා

1794
0

ශ්‍රී ලංකාව  ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි අතර රජය සහ මහබැංකුව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ක්‍රමයෙන් ආර්ථික වර්ධනයක් අත්පත්කරගනිමින් සිටින බව රජය මෙන්ම මහ බැංකුවද ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම මේ වසරේදී ශ්‍රී ලංකාව ධන ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්නා බවද රජය මගින් පුරෝකථනය කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී හරිස්චන්ද්‍ර මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් පදනම්ව මෙම ලිපිය සකසා තිබේ.

  • ශ්‍රීලංකාවේ උද්ධමනය 70% අභිබවා ඉහළ ගියා. උද්ධමනය පාලනය නොකළානම් රටේ ඇතිවන තත්ත්වය පිළිබඳ කතාකළොත්?

විවිධ හේතු සාධක නිසා පසුගිය වසරේ උද්ධමනය 70% දක්වා වැඩිවුනා. ඒ විදිහට උද්ධමනය වැඩි වීමට සහ ඒ මට්ටමේම පැවතීමට හේතුවන විවිධ සාධක තිබෙනවා.

උද්ධනමනයට වැඩි වශයෙන්ම බලපෑ එක හේතුවක් වන්නේ විනිමය  අනුපාතික අර්බුධයයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 200 මට්ටමේ පැවති රුපියලේ අගය එකවරම 300 ඉක්මවා ඉහළ ගියා. 2022 වසරේදි, විනිමය අනුපාතිකය 45%කින් පමණ අවප්‍රමාණ වුණා. එහි සරල අදහස අපි රුපියල් 100කට ආනයනය කළ භාණ්ඩයක් රුපියල් 145ක් දක්වා මිල වැඩිවෙනවා කියන කාරණය. එය උද්ධමනයට සෘජුවම වන බලපෑමක්. මොකද අප  පාරිභෝජනය කරන භාණ්ඩ  වලින් තුනෙන් එකක් පමණ ආනයනය කරන භාණ්ඩ තිබෙනවා. ඒවගේම තෙල් මිල වැඩි වුණා. අපි අවුරුදු ගණනාවක් වෙළඳපොළ මිල ගණන් වලට අනුව තෙල් මිල සංශෝධනය කළේ නැහැ. ඒවගේම ලෝක වෙළඳපොළේ   තෙල් මිලත් ඒ වකවානුවේදී ඉහළ ගියා. ගාසා තීරයේ පවතින යුද්ධය  නිසා පසුගිය කාලයේ තෙල් මිල යම් වැඩිවීමක් සිදුවුණා.  විදුලිබිල වසර 12කට වැඩි කාලයක් වෙළඳපොළ මිල ගණන් වලට අනුව සංශෝධනය කළේ නැහැ. මෙවැනි මිල ගණන් ඉහළ යෑම්, සැපයුම් අවහිරතා හේතුවෙන් වෙළඳපොළේ භාණ්ඩ හිඟ වීම සහ ඒ හේතුවෙන් මිල ගණන් වැඩි වීමත් උද්ධමනය ඉහළ යෑමට හේතු වුණා.

මේ නිසා උද්ධමනය පාලනය කරන්න මහබැංකුව විවිධ ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු ලැබුවා, එ් වගේම රටේ විනිමය අර්බුදය විසඳන්නත් එවැනිම ක්‍රියාමාර්ග ගනු ලැබුවා. විනිමය අනුපාතික වෙළඳපොළ ඉල්ලුම සහ සැපයුම මත තීරණය වීමට ඉඩ සලසා, පොලී අනුපාතික වැඩි කරලා, ආනයන සීමා දාලා, ණය වැඩිවිමේ ප්‍රමාණය අඩු කරන්න කටයුතු කළා.  විනිමය අනුපාතික අනවශ්‍ය ලෙස බලහත්කාරයෙන් රදවාගෙන සිටියානම් බැංකු පද්ධතියට එන විදේශ මුදල් ප්‍රමාණය තවත් අඩුවෙනවා. එහෙම උනානම් අපිට තෙල් ගේන්න, ආහාර ගේන්න, බෙහෙත් ගේන්න සල්ලි නැතිව යනවා. එවිට නැවතත් පෝලිම් යුගයක් ඇතිවෙනවා. උද්ධමනය තවදුරටත් තිබුණනම් ඇතිවෙන තත්වය එයයි. උද්ධමනය 70% මට්ටමේම තිබුණනම් පොලී අනුපාතික අඩු වන්නේ නැහැ. එහෙම උනානම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තවත් අමාරුවෙ වැටෙනවා. අලුතින් ණය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. ණය ගත්තු මිනිස්සු තවත් අමාරුවෙ වැටෙනවා. මේ අවුරුද්දේ තුන්වන කාර්තුවේ ආර්ථිකය ධන අගයක් ගත්තා. උද්ධමනය අඩු නොවුනම් ඒක වෙන්නෙත් නැහැ. මිල ස්ථායිකරණය කිරීම තමයි මහ බැංකුවේ ප්‍රධානතම අරමුණ වෙන්නේ. එය සිදුකිරීමෙන් සමස්ත ආර්ථිකයම ස්ථාවර කරන්න පුළුවන්, එතනින් තමයි ආර්ථික වර්ධන මාවතට ලඟාකර ගැනීමේ හැකියාව ලැබුනේ.

 

  • උද්ධමනය අඩු උනත් භාණ්ඩ මිල අඩු අවුවෙන්නේ නැහැ කියලා ජනතාව ප්‍රශ්න කරනවා?

උද්ධමනය අඩු උනාට දැන් භාණ්ඩ මිල අඩුවෙන්නේ නැහැ කියලා ගොඩක් අය කියනවා. එහෙම කියන හැමදෙනාම ඒ සංකල්පය වැරදියට තේරුම් අරගෙන තිබෙන්නේ. උද්ධමනය අඩුවෙනවා කියන්නේ භාණ්ඩවල මිල අඩුවෙනවා කියන දේ නෙවෙයි. භාණ්ඩවල මිල ඉහළ යාමේ වේගය අඩු වීම තමයි උද්ධමනය අඩුවෙනවා කියන්නේ. නමුත් පසුගිය අවුරුද්දට සාපේක්ෂව ඇතැම් භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. මේවනවිට උද්ධමනය 4% පමණ මට්ටමේ තිබෙනවා. එය හොද මට්ටමක්.

 

  • ආර්ථිකය නව මාවතකට ගෙන ඒම සඳහා රජය අලුතින් ඇතිකරගෙන තිබෙන නීති සහ රෙගුලාසි ගැන කතාකළොත්?

උද්ධමනය 70% ට වැඩි උනේ ඇයි කියලා බලද්දි වසර දෙක තුනක් ආපස්සට ආර්ථික ක්‍රියාකාරකම් සහ තීන්දු තීරණ ගැන බලන්න වෙනවා.  2021 දී පමණ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 200 පමණ මට්ටමේ තිබුණා. වෙළඳපෙළේ ඩොලර් හිඟනම් අපි සංචිත වලින් ඩොලර් වෙළඳපොළට දාන්න සිදුවෙනවා . නමුත් අපේ සංචිත වියදම් නොකර 200 මට්ටමේ තියාගන්න බැරි වුනා. මේ විදිහට කාලයක් ඩොලරය ඒ විදිහට තියාගෙන එද්දි 2022 මාර්තු පමණ වන විට අපේ සංචිත හිදුනා. මේ විදිහට ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර මට්ටමේ තියාගෙන ඉන්න බැහැ. මේ නිසා එකවරම ඩොලරයේ අගය රුපියල්  230ට වැඩිවුනා. ඒවිදිහට ටිකෙන් ටික වැඩිවෙලා රුපියල් 300 ත් ඉක්මවා වැඩිවුනා. මේ නිසා සමස්ත බඩුමිලෙහි සිදුවුන වැඩිවීම තමයි උද්ධමනය 70% දක්වා ඉහළ යන්න එක් ප්‍රධාන හේතුවක් වුනේ. ඒ මට්ටමට ගිය උද්ධමනය අඩුකරන්න පසුව රජය සහ මහබැංකුව එකතුවෙලා වැඩපිළිවෙලක් අනුව කටයුතු කළා.

මහ බැංකුව සහ රජය මේ විදිහට උද්ධනමය අඩු කරන්න කටයුතු කරන විට අලුතෙන් මහ බැංකු පනතක් හදුන්වාදෙන්නත් කටයුතු කළා. මේ පනත අනුව  උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යන්න රජය සහ මහබැංකුව අතර ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව 3% -7% අතර උද්ධමනය පවත්වාගෙන යන්න අපි කටයුතු කරනවා. කාර්තු දෙකකදී උද්ධමනය 7% ඉක්මවා ගියහොත් එයට හේතු කියන්න අපි බැදී සිටිනවා. කලින් තිබුණාට වඩා වැඩි වගකීමක් වගවීමක් දැන් මේ පනත නිසා ඇතිවෙලා තිබෙනවා. මහබැංකුව වගේම රජයත් ඒ අනුව කටයුතු කරනවා. ඉස්සර රජයේ වියදම් පියවා ගැනීම සඳහා මහ බැංකුවෙන් මුදල් අච්චුගහලා ගත්තා. දැන් එහෙම කරන්න බැහැ. මේ නිසා මුදල් ප්‍රසාරණයෙන් එන උද්ධමනය එන්නෙත් නැහැ. වැට් බදු වැඩිකිරීම නිසා ජනවාරි වලින් පසුව යම් ප්‍රමාණයකින් උද්ධමනය වැඩි වෙන්න අවස්ථාව තිබෙනවා. නමුත් 2024 තුන්වෙනි කාර්තුවේ සිට උද්ධනමය ඉලක්කගත 5% මට්ටම ආසන්නයේ පවතිනු ඇති බව මහබැංකුව අපේක්ෂා කර තිබෙනවා.

  • වැට් බදු වැඩිකිරීම උද්ධමනයට කෙසේ බලපායිද?

 

ජනවාරි සිට වැට් වැඩිවීම නිසා උද්ධනමනය යම් වැඩි වීමක් සිදු උනත් එය මිනිස්සුන්ට දරාගත නොහැකි තරමට අපහසුතාවයට පත්වෙන්න විදිහක් නැහැ. මොකද ගියවර උද්ධමනය වැඩි වෙනවාත් සමඟම භාණ්ඩ ප්‍රමාණවත්ව තිබුනෙත් නැහැ . සල්ලි තිබුණත් භාණ්ඩ මිලදි ගන්න විදිහක් නැතිවුනා.  නමුත් දැන් භාණ්ඩ හිඟයක් නැහැ. අවශ්‍ය තරම් භාණ්ඩ තිබෙනවා. තමන්ගේ අදායම අනුව දරාගන්න පුළුවන් මිලක් තිබෙනවාද කියන ප්‍රශ්නය තමයි දැන් තිබෙන්නේ.  නමුත් දැන් ක්‍රමයෙන් අදායම සකස් වෙමින් පවතින බව පෙනෙන්න තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප් ක්‍රමාණුකූලව වැඩිවීම, අස්වැසුම වැනි සහනාධාර ලබාදීම වගේම පෞද්ගලික අංශය තුළත් යම් ආකාරයට වැටුප් වැඩිවීම් සිදුවෙන බව පෙනෙන්න තිබෙනවා.  ඒවගේම ඉස්සරට වඩා ආර්ථික කටයුතු සිදුවන බව පෙනෙන්ට තිබෙනවා. නමුත් එයින් අදහස් කරන්නේ නැහැ ලංකාව දැන් සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට   පත්වෙලා තියෙනවා කියලා. නමුත් 70% වැඩිවෙලා තිබුණ උද්ධමනය 7% වැඩිවුනා කියලා විශාල අර්බුදයක් ඇතිවෙයි කියලා හිතන්න බැහැ. ඒවගේම ලංකාව වගේ රටවල 5% පමණ උද්ධමනයක් නැතිනම් මිනිස්සු භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ. අවධමනයක් තිබෙන විට කවදාවත් නිෂ්පාදන ඇතිවෙන්නේ නැහැ.

අමුද්‍රව්‍ය මිල, පාරිභෝගික ද්‍රව්‍ය මිල, සහ කම්කරුවන්ගේ මිල වැඩිවීම නිසා කර්මාන්තකරුවන්ට යම් ආකාරයක අර්බුදයක් ඇතිවෙලා තිබෙන්න පුළුවන්. කොහොම උනත් ආර්ථිකය ධන වර්ධන වේගයක් තිබෙන නිසා ක්‍රමයෙන් ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව සැපයුම හැදෙනවා. ඒවගේම පොලී අනුපාතිකත් අඩු මට්ටමකට පැමිණෙමින් තිබෙනවා. විනිමය අනුපාතිකත් යම් ස්ථාවරත්වයක තිබෙනවා. පෞද්ගලික අංශයේ බැංකු ණය ලබාගැනීමත් දැන් ක්‍රමයෙන් වැඩිවෙලා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ හොද වර්ධනයක් තිබෙනවා.  ආර්ථිකය ධන වර්ධනයක් තිබෙනවා කියන්නේ මුදල් හුවමාරුව හොදින්  සිදුවෙන්න අවශ්‍යයි. ආර්ථිකය වර්ධනයක් සිදුවෙන්නේ උද්ධමනය පාලනය කිරීමෙන්ම තමයි.

2024 අවුරුද්ද තුළත් ධන ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. 2023 වසරේ හතරවන කාර්තුවේ වර්ධනය වේගය නිරීක්ෂණය කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකළ හැකියි. කොහොමඋනත් ධන වර්ධන වේගයක් පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. 2024 ආර්ථික වර්ධන වේගය 3% ඉක්මවා යන්න පුළුවන්.

 

  • බංකොලොත්බව ප්‍රකාශ කළ රාජ්‍යක් ලෙස අනිකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙක් කතාකළහොත්?

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ රටවල් යථා තත්ත්වයට පත්වී ඇති ආකාරය දෙස බැලු විට ඒ සියල්ල එකම ආකාරයට සිදුවෙලා නැහැ. එය රටින් රටට වෙනස්වි තිබෙනවා. ශ්‍රී ලංකාව මේ දක්වා සිදුකළ ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ දේශීය ණය ප්‍රශස්තකරණය අවසන්වී තිබෙනවා. බැංකු පද්ධතියට හානියක් නොවී ආර්ථිකයට අවම හානියක් වන පරිදි එය සිදුකරගන්න හැකියාව ලැබුණා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතිරිවී තිබෙනවා. එයට යම් එකඟතාවයක් තිබෙනවා. 2024 වසරේ පළමු කාර්තාවේ එය සිදුකරගන්න හැකිවේවි යන බලාපොරොත්තුව තිබෙනවා. එහෙම කළොත් ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීමේ ආයතන අපව ඉහළ මට්ටමට ශ්‍රේණිගතිකරීම් සිදුකරයි.

ඒවගේම පසුගිය වසරවල ආර්ථිකයට සිදුවන පසුබෑම දෙස බලනවිට දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2015 දී තිබුණ මට්ටමට ආපස්සට ගිහින් තිබෙන්නේ. අපි අවුරුදු 7 න් පමණ ආපස්සට ගිය එක තමයි අපි වැටුණු ආගාධයේ ගැඹුර. මේ නිසා අපි අවුරුද්දකට 5%න් පමණ වර්ධනය උනොත් වසර තුන හතරක් ඇතුළත යථා තත්ත්වයට පැමිණෙන්න අපිට පුළුවන් වෙයි.  අපේ වර්ධන වේගය 3%- 4% මට්ටමේ තිබුණොත් ඒ් මට්ටමට එන්න වසර හයක් හතක් ගතවේවි.  ඒසඳහා දේශීය සහ විදේශීය සාධක බලපානවා. විදේශීය ආයෝජන ආදිය තවදුරටත් රටට පැමිණීම තුළ ඒතැනට ලගාවෙන්න පුළුවන් වේවි. ඒවගේම ආර්ථිකය වර්ධනය වෙන්න දේශපාලන ස්ථාවරභාවය, ස්ථාවර ප්‍රතිපත්ති  තිබෙන්න අවශ්‍යයි.

 

  • ශ්‍රී ලංකාව නැවත විදේශ ණය ගෙවිමට පටන්ගත්විට රටේ ආර්ථික තත්ත්වය යළිත් පසුබැසීමක් ඇතිවේවිද?
  • ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්වීම වැළැක්වීම සඳහා රජය තාවකාලිකව පියවරල් ලෙස විදේශ ණය ගෙවීම අත්හිටවූවා. ඉන් පසුව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කළා. එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කොට නැවත ණය ගෙවීම පටන්ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. එසේ ණය ගෙවීම් ආරම්භ වු පසු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත වැඩි දියුණු වෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව අපි ණය ගෙවන්න පටන්ගන්නේ පරණ ණය නෙවෙයි ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද අලුත් ණය.  ඒ කියන්නේ ණය පොලී අනුපාතික අඩුවෙලා , ණය ගෙවීමේ කාලය දීර්ඝ වෙලා වගේම ඇතැම් ණය වලින් කොටසක් කපා හැරීම් පවා සිදුවේවි. එහෙම උනාම කලින් වගේ ණය ගෙවීමේදි ලොකු පීඩනයක් ඇතිවෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නෙම ඒ සහනය ලබාගන්න පුළුවන් වෙන්න. මේ සියලු ක්‍රමවලින් ඩොලර් බිලියන 17ක පමණ ණය සහනයක් අපි අපේක්ෂා කරනවා. එවගේම පසුගිය අවුරුද්දේ ඩොලර් බිලියන 1.9 පමණ තිබුණු අපේ සංචිත බිලියන 04 ක පමණ මට්ටටම දැන් ඇවිත් තිබෙනවා. IMF වැඩසටහන නිර්මාණය කරලා තිබෙන්නෙම මේ හිඳැස නැතිකරන්න. ඒනිසා මේ වැඩටික හරියට කරගත්තොත් හිදැසක් ඇතිවෙන්නේ නැහැ. ඒවගේම 2024 වසර අවසානය වන විට ඩොලර් බිලියන 06 ක පමණ සංචිතයක් පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබේවි. අලුත් මහබැංකු පනත අනුව මෙම සංචිත කිසිම අවස්ථාවක විනිමය අනුපාතික පාලනය කරන්න යොදවන්නේ නැහැ. විනිමය අනුපාතික අඩු වැඩිවීම කියන්නේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වල අතුරුඵලයක් විතරයි. ඒක මූලික කරගෙන අනිත් කටයුතු කරන්න බැහැ. අපේ අපනයන ඇතුලු අනෙකුත් විදේශ විනිමය ලැබීම් වැඩිවෙනවානම් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙලා විනිමය අගයන් අඩුවෙනවා. ආනයනය ඇතුලු අනෙකුත් විදේශ විනිමය  විදේශයන්ට ගලායෑම වැඩිවෙනවානම් ශ්‍රී ලංකා රුපියල දුර්වල වෙලා විනිමය අගයන් වැඩිවෙනවා. විනිමය අගයන් එකමට්ටමක තියාගෙන ආනයන අපනයනය වෙනස් කරන්න අපට බැහැ. රටක් විදියට අපිට කරන්න පුළුවන් අපනයනය ප්‍රවර්ධනය කිරීම, සංචාරක කර්මාන්තය  ප්‍රවර්ධනය කිරීම වගේම විදේශ ප්‍රේෂණ වැඩිකරගැනීම ආදි කටයුතු පමණයි. මේකටයුතු හොදින් සිදුකළොත් විනිමය අනුපාතයත් හොදම මට්ටමේ පවතීවි. ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් ඇතිකරගැනිමට පුළුවන් උනොත් මේ වසර අවසානය වනවිට වාහන ගෙන්වීමට පාලනය කිරිමට අවශ්‍ය නැතිවේවි.

 

Previous articleමහින්දට අගමැතිකම දුන්නට කරුණු කියන්නැයි මෛත්‍රීට නොතීසි
Next article සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here