Home අද මහින්දට අගමැතිකම දුන්නට කරුණු කියන්නැයි මෛත්‍රීට නොතීසි

මහින්දට අගමැතිකම දුන්නට කරුණු කියන්නැයි මෛත්‍රීට නොතීසි

1325
0

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කර ඇති බව වාර්තා වේ.

පෙත්සම සම්බන්ධයෙන් මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 23 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කළ අතර පෙත්සම සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු පවසන්නේ 2018 වසරේ ඔක්තෝබර් මස 26 වනදා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවය.

ඉන් අනතුරුව එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරුණු බවත් පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබියදී ඔහු ඉවත්කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරහා එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

Previous articleතායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක
Next articleණය ගෙවීම් ආරම්භ වු පසු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත වැඩි දියුණු වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here