Home අද උරුමය වැඩසටහනෙන් හිමි­කම් පත්‍ර ලාභීන්ට පූර්ණ අයි­ති­වා­සි­කම් ඔප්පු – ඉඩම් කොම­සා­රිස් ජන­රාල්

උරුමය වැඩසටහනෙන් හිමි­කම් පත්‍ර ලාභීන්ට පූර්ණ අයි­ති­වා­සි­කම් ඔප්පු – ඉඩම් කොම­සා­රිස් ජන­රාල්

1675
0

මෙරට ඉඩම් අයි­තිය පිළි­බඳ ගැටලු ඇති වූයේ දශක ගණ­නා­වක සිටය. ඉඩම් නැති ජන­තා­වට ගොවි ජන­පද ව්‍යාපාර වෙනු­වෙන් රජයේ ඉඩම් ලබා දුන්නද ඒ ඉඩ­ම්වල පූර්ණ අයි­තිය පැව­රුම් ලාභීන්ට හිමි වූයේ නැත. ස්වර්ණ භූමි, රන් භූමි වැනි විවිධ නම්ව­ලින් ලැබුණු පැව­රුම් සහ­තික මඟින් ඉඩම් භුක්ති විඳීමේ අයි­තිය ලැබුණ ද ඒ අයි­තිය පූර්ණ අයි­ති­යක් නොවුණ අතර ඉඩ­ම්වල පරම අයි­තිය පැවරී තිබුණේ රජ­ය­ටය. එහෙත්, ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ඇරැ­ඹෙන “උරු­මය” වැඩ­ස­ට­හන මඟින් රජයේ ඉඩම් භුක්ති විඳින ජන­තාව වෙත එහි පූර්ණ අයි­තිය ලබා දීමට කට­යුතු කර තිබෙන අතර එම වැඩ­ස­ට­හන “උරු­මය” නමින් ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය. මේ එම වැඩ­ස­ට­හන සහ ඉඩම් ආශ්‍රිත ගැටලු පිළි­බඳ ඉඩම්
කොම­සා­රිස් ජන­රාල් බන්ධුල ජය­සිංහ මහතා සමඟ කළ සාක­ච්ඡා­වකි.

රජය විසින් ඇති කිරී­මට නිය­මිත ” උරු­මය ” වැඩ­ස­ට­හන කියන්නේ කුමක්ද?

මෙම උරු­මය වැඩ­ස­ට­හන ආරම්භ කරන්නේ 2024 වර්ෂ­යේ­දීයි. ඒ පිළි­බ­ඳව ආර­ම්භක උත්ස­වය නුදු­රේ­දීම ආරම්භ කිරී­මට නිය­මි­තයි. එම­ඟින් රජයේ ඉඩම් භුක්ති විඳින සැම­ටම ඉඩම් අයි­තිය පූර්ණ ලෙස ලැබෙ­නවා. ඇත්තෙන්ම මේ විදි­හට පූර්ණ ඉඩම් අයි­තිය ලබා දීම සිදු කළේ ජනා­ධි­ප­ති­තු­මාගේ සංක­ල්ප­යක් අනු­වයි. ඒ අනුව ජන­තාව වෙත ලොකු අයි­ති­යක් ලැබී­මට නිය­මි­තයි. ජන­තාව තමන් වෙත පූර්ණ අයි­තිය නැතිව කාල­යක් තිස්සේ විශාල ගැට­ලු­ව­ලට මුහුණ දුන්නා. මෙම උරු­මය වැඩ­ස­ට­හ­නත් සමඟ ජන­තාව වෙත ලැබෙන සහ­නය විශා­ලයි.

මෙරට ජන­තාව වෙත තිබූ ඉඩම් අයි­තිය 1890 වර්ෂ­යේදී නැති වුණේ මුඩු­බිම් ආඥා පනත මඟි­නුයි. එම ආඥා පනත මඟින් මෙරට තහ­වුරු කළ ඔප්පු නැති සියලු ඉඩම් රජ­යට පවරා ගනු ලැබුවා. ඇත්තෙන්ම එදා ජන­තාව එයින් ලොකු අසා­ධා­ර­ණ­ය­කට ගොදුරු වුණා. පූජා ස්ථාන, විහා­ර­ස්ථාන වැනි තැන්ව­ලට අයත් ඉඩම් හැර ජන­තාව භුක්ති වින්ද ඉඩම් මුඩු­බිම් පනත මඟින් රජ­යට පවරා ගැනීම සමඟ තමන් උපන් බිමේම ඉඩම් අඟ­ලක් නැති පිරි­සක් බවට ඔවුන් පත් වුණා. ඒ අනුව බොහෝ පිරිස් වෙත ඉඩ­ම්වල පුද්ග­ලික අයි­තිය අහිමි වුණා. මේ තත්ත්වය තුළ තමන්ගේ ගම්බි­ම්ව­ලම ජන­තාව අස­ර­ණ­යන් පිරි­සක් බවට පත් වුණා. ඔවුන්ගේ ඉඩ­ම්වල රජයේ වගා කට­යුතු වන තේ, කෝපි වැනි වගා කට­යුතු සඳහා යොද­වනු ලැබුවා.

ජන­තාව වෙත ඇති වුණු මේ අසා­ධා­ර­ණය නිවැ­රැදි කිරී­මට ඉන්ප­සුව රාජ්‍ය මට්ට­මෙන් මැද­හත් වීම් සිදු වුණේ නැද්ද?

රජයේ ඉඩම් සංව­ර්ධ­නය සඳහා 1931 දී ඉඩම් සංව­ර්ධන පනත රජය විසින් ගෙන ආවා. එම­ඟින් රජයේ ඉඩම් ගොවි­තැන් සහ නේවා­සික කට­යුතු සඳහා ජන­තාව වෙත ලබා දෙන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළා. එහිදී ඉඩ­ම්වල පරම අයි­තිය රජය සතු වුවද ඒවා භුක්ති විඳීමේ අයි­තිය ජන­තා­වට ලැබුණා. ඒ සඳහා රජ­යෙන් අව­සර පත්‍ර­යක් ලැබුණා. එය ස්වර්ණ භූමි, රන් භූමි වැනි විවිධ නම්ව­ලින් හඳු­න්වනු ලැබුවා. මෙම හිමි­කම් පත්‍ර මත පර­ම්පරා ගණ­නා­වක්ම ජන­තාව මෙම ඉඩම් භුක්ති වින්දත් ණයක් ලබා ගැනී­මට හෝ වෙනත් විශේෂ දෙයක් ඉඩම සම්බ­න්ධ­යෙන් සිදු කරන්න ඕනෑ වුණාම විවිධ අප­හ­සු­තා­ව­ලට ලක් වෙනවා. ඇත්තෙන්ම මේ ගැන මෙතෙක් කවු­රුත් අව­ධා­නය යොමු කළේ නැහැ.

එහෙත්, මෑත­කදී වර්ත­මාන ජනා­ධි­ප­ති­තුමා මේ ගැන විශේෂ අව­ධා­න­යක් යොමු කර කට­යුතු කළා. ඒ අනුව ජනා­ධි­ප­ති­තු­මාගේ අද­හස බවට පත්ව තිබෙන්නේ ඉඩ­ම්වල පූර්ණ අයි­තිය ජන­තාව වෙත කඩි­න­මින් ලබා දෙන්න ඕනෑ කියන කරු­ණයි. මෙම­ඟින් ජන­තාවගේ දීර්ඝ කාලීන ඉල්ලීම් සපි­රී­මක් විදි­හට මෙම නව ක්‍රම­වේ­දය හඳුන්වා දෙන්න පුළු­වන්. මෙම වැඩ­ස­ට­හන නිසා ඉඩම් ලාභීන්ට ඒවායේ පූර්ණ අයි­තිය ලැබීම සිදු වෙනවා. එය සුවි­ශේෂ දෙයක් විදි­හට සඳ­හන් කිරීම අති­ශ­යෝ­ක්ති­යක් නොවෙයි.

එත­කොට මෙතෙක් කල් ක්‍රියා­ත්මක වුණු ස්වර්ණ භූමි, රන් භූමි වගේ පැව­රුම් ඔප්පු ක්‍රමය සම්පූ­ර්ණ­යෙන් අහෝසි වෙන­වාද?

ඔව්. මූලි­කව මේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ වී ක්‍රමා­නු­කූ­ලව පැව­රුම් ඔප්පු තිබෙන සියලු දෙනාට සාමාන්‍ය සින්න­ක්කර ඔප්පු­ව­කට සමාන ඔප්පු­වක් ලබා දෙනවා. ඒ ඔප්පු­වෙන් සාමාන්‍ය සින්න­ක්කර ඔප්පු­ව­කට සමා­නව සියලු අයි­ති­වා­සි­කම් තිබෙ­නවා. එහි ආර­ම්භ­යක් විදි­හට පළ­මුව ලබන මසදී දස­හ­සක ප්‍රමා­ණ­යක් සඳහා පූර්ණ අයි­ති­වා­සි­කම් සහිත ඔප්පු ලබා දීම සිදු කර­නවා. ඉන් පසුව ක්‍රමා­නු­කූ­ලව සහ කඩි­නම්ව ඉතිරි අය සඳහා ද මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර­නවා.

දැනට අව­සර පත්‍ර ඉඩම් ලාභීන් කොප­මණ ප්‍රමා­ණ­යක් මෙරට සිටි­න­වාද?

දැනට ලක්ෂ තිහ­කට කිට්ටු ප්‍රමා­ණ­යක් අව­සර පත්‍ර සහ සහ එවැනි පූර්ණ අයි­තිය නොලැ­බෙන භුක්ති විඳීමේ අයි­තිය පම­ණක් තිබෙන ඔප්පු සහිත පිරිස් ඉන්නවා. මේ සැම දෙනා­ටම තිබූ පොදු ප්‍රශ්න­යක් තමයි, මේ විදි­හට විස­ඳී­මට හැකි­යාව ලැබී තිබෙන්නේ. ඇත්තෙන්ම මෙය මෙරට අවු­රුදු සිය­ය­කට වඩා කාල­යක් ඉඩම් ලාභීන් මුහුණ දුන් ගැටලු වෙත ලැබුණු විස­ඳු­මක් විදි­හට හඳුන්වා දීමට පුළු­වන්.

මේ උරු­මය වැඩ­ස­ට­හන පිළි­බ­ඳව ජන­තා­වගේ පාර්ශ්ව­යෙන් ලැබෙන ප්‍රති­චා­රය කුමක්ද?

තමන්ට අර්ධව අයි­ති­ වෙලා තිබෙන ඉඩ­මක් පූර්ණ අයි­තිය සහිත ඉඩ­මක් විදි­හට තමන් වෙතම අයිති වෙන­වාට කවුද අකැ­මැති වෙන්නේ. ඇත්තෙන්ම සියලු ජන­තාව හොඳ ප්‍රති­චාර ලබා දෙනවා.

ගොවි ජන­පද ව්‍යාපා­රය ලෙස ක්‍රියා­ත්මක කළ වැඩ­පි­ළි­වෙළ තුළත්, ක්‍රියා­ත්මක වුණේ මේ පැව­රුම් ඔප්පු සංක­ල්ප­ය­මද?

ඔව්. 1931 පස්සේ තමයි, ගොවි­ජ­න­පද සංක­ල්පය ක්‍රියා­ත්මක වුණේ. ඒ සඳහා එදා දුෂ්කර ප්‍රදේශ විදි­හට තිබුණු ප්‍රදේශ මෙම ජන­පද කට­යුතු සඳහා යොදා ගත්තා. මින්නේ­රිය, ගල්ඔය, රාජං­ග­නය වගේ තැන්වල තමයි ගොවි ජන­පද ක්‍රියා­ත්මක වුණේ. ඒ ජන­ප­ද­ව­ලත් තිබුණු ප්‍රධාන ගැට­ලුව බවට පත් වුණේ තමන් නේවා­සි­කව සිටින වවන වගා බිම්වල භුක්ති විඳීමේ අයි­තිය තිබු­ණත් පූර්ණ අයි­තිය නොති­බීම. මේ ගොවි ජන­ප­ද­වල මිනිස්සු පර­ම්පරා ගණ­නා­වක් දුෂ්කර පරි­ස­ර­යක පොළොව සමඟ හැපෙ­මින් රටට බත සැප­යූවා. ඒත්, ඒ අයට තම­න්ගේම කියලා ඉඩ­මක් තිබුණේ නැහැ. ” උරු­මය ” වැඩ­ස­ට­හ­නත් සමඟ ඒ අසා­ධා­ර­ණය නිවැ­රැදි වීම ගැන අපට සතුටු වෙන්න පුළු­වන්.

එත­කොට මහ­වැලි ඉඩ­ම්ව­ල­ටත් “උරු­ම­යෙන් ” සහන ලැබෙ­න­වාද?

අනි­වා­ර්යෙන්ම. උරු­මය වැඩ­පි­ළි­වෙළ මඟින් මහ­වැලි ඉඩ­ම්වල සිටින ජන­තා­ව­ටද ලොකු සහ­න­යක් ලැබෙ­නවා. ඒ සඳහා මහ­වැලි සංව­ර්ධන අධි­කා­රි­යද මැද­හත්ව කට­යුතු කිරී­මට නිය­මි­තයි. මහ­වැලි ඉඩම් ලාභී­න්ටද සින්න­ක්කර ඔප්පු ලබා දීමට හැකි ආකා­රය ගැන කඩි­න­මින් සොයා බැලී­මක් සිදු කර­නවා.

අද දුම්රිය රක්ෂිත ඇතුළු රජයේ රක්ෂිත ඉඩ­ම්වල විශාල පිරි­සක් තමන්ගේ දෛනික ජීවන කට­යුතු සිදු කර­මින් සිටි­නවා. එවැනි පිරිස් වෙතත් මේ සහ­නය ලැබෙ­න­වාද?

රජයේ දෙපා­ර්ත­මේන්තු ඇතුළු රාජ්‍ය ආය­ත­න­ව­ලට අයිති ස්ථාන සහ රක්ෂිත ඉඩම් සම්බ­න්ධව තිබෙන්නේ වෙනත් නීති­යක්. ඒ නීති­යට අනුව කෙනෙ­කුට අවශ්‍ය නම් මෙම තැන්වල වැඩ කරන්න පුළු­වන්. එහෙත්, ඒ අයට කව­දා­වත් රජයේ රක්ෂිත ඉඩ­ම්වල අයි­තිය ලැබෙන්නේ නැහැ. උරු­මය වැඩ­ස­ට­හ­නෙන් එවැනි රජයේ රක්ෂි­ත­වල සිටින පිරිස් වෙත සහ­න­යක් ලැබෙන්නේ නැහැ. රක්ෂිත ඉඩම් සේවා අව­ශ්‍යතා මත බදු මත ලබා දීම් සිදු කරනු ලබ­නවා.

රජයේ සෙසු ඉඩම් ව්‍යාපාර ද මහා පරි­මාණ වගා­බිම් වැනි කාර්ය සඳහා බදු දීමට පුළු­වන් නේද?

ඒ සඳහා මෑතක් වන ­තු­රුම අවු­රුදු අනූ­න­වයේ බදු ගිවි­සු­මයි ක්‍රියා­ත්මක වුණේ. එහෙත්, දැන් බදු ගිවි­සුම් ක්‍රියා­ත්මක කරන්නේ අවු­රුදු තිහ­කට ආව­ර­ණය වන පරි­දියි. එහිදී අවශ්‍ය නම්, ඒ ක්‍රමය යටතේ ඉඩ­ම්ව­ලින් අව­ශ්‍යතා ඉටු කර ගැනී­මට පුළු­වන්. මේ විදිහේ ක්‍රම මඟින් මෙරට ඉඩ­ම්ව­ලින් හොඳ ප්‍රයෝ­ජ­න­යක් ලබා ගැනී­මට හැකි­යාව තිබෙ­නවා. ඇත්තෙන්ම අපේ රටේ ඉතා­මත් සරු­සාර වගේම වගා­වට සුදුසු ඉඩම් විශාල ප්‍රමා­ණ­යක් තිබෙ­නවා. දැන් කළ යුත්තේ ඒ ඉඩම් නිසි විදි­හට සහ ප්‍රයෝ­ජ­න­වත් ආකා­ර­යට යොදා ගැනී­මයි.

ඉඩම් පිළි­බඳ මාතෘ­කා­වේදී අපට වඩාත් හුරු නමක් තමයි ” බිම් සවිය” ඇත්තෙන්ම දැන් ” බිම් සවිය ” වැඩ­පි­ළි­වෙළේ තත්ත්වය කොහො­මද?

බිම් සවිය කියන්නේ, උරු­මය වැඩ­ස­ට­හ­නට සමාන වැඩ­ස­ට­හ­නක් නොවෙයි. එහෙත්, බිම් සවිය මඟින් විශාල කාර්ය ප්‍රමා­ණ­යක් ඉටු වෙනවා. අපේ රටේ විවිධ වර්ගී­ක­රණ යටතේ ඉඩම් ඔප්පු තිබෙ­නවා. හවුල් ඉඩම්, නොබෙදූ ඉඩම් ඇතුළු වර්ග මෙයට ඇතු­ළත් වෙනවා. එහෙත්, කාල­යක් සමඟ මේ ඔප්පු­වල විවිධ අවුල් සහිත තැන් ඇති වෙන්න පුළු­වන්. ඒවා නිසා මේ ඔප්පු හිමි­යන් විශාල අප­හ­සු­තා­ව­ලට ලක් වෙනවා. එහෙත්, බිම් සවිය වගේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරිම මඟින් එවැනි ආර­වුල් ඇති තැන් නිවැ­රැදි කිරී­මට හැකි­යාව ලැබෙ­නවා. ඇත්තෙන්ම මෙවැනි වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක වීම සුවි­ශේෂ වන්නේ ඒ නිසයි. තව­මත් මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක වෙනවා. මෙහි අර­මුණ වන්නේ ඔප්පුව ගැන සොයා බලා අවශ්‍ය මිනුම් කට­යුතු කර නීත්‍යනු­කූල හිමි­කම පිළි­බඳ සහ­ති­ක­යක් නීත්‍යනු­කූල ඉඩම් හිමි­යාට ලබා දීමයි.

උරු­මය වැඩ­ස­ට­හට අනුව බල­පත්‍ර ඉඩම් ලාභි­යාට ලබා දෙන ඉඩම අවශ්‍ය ඕනෑම වෙලා­වක විකුණා දැමීමේ අයි­ති­යද හිමි­කරු වෙත නීති­යෙන්ම පැව­රෙ­න­වාද?

අනි­වා­ර්යෙන්ම. තමන් කැමැති දෙයක් කිරීමේ අයි­තිය මේ අනුව ඉඩම් හිමි­යාට තිබෙ­නවා. අව­ශ්‍ය­තාව අනුව ඉඩම් වෙනත් කෙනෙ­කුට සින්න­ක්ක­රව පැව­රීමේ හැකි­යාව තිබෙ­නවා. එහෙත්, මම විශ්වාස කරන්නේ නැහැ අපේ රටේ සංස්කෘ­තිය අනුව මේ වගේ ඉඩ­මක් සම්පූ­ර්ණ­යෙන්ම විකුණා දැමී­මක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය විදි­හට සිදු­ වන්නේ තම දරු­ව­කුට හෝ යැපෙ­න්නෙ­කුට ඉඩමේ අයි­තිය පැව­රී­මයි. එහෙත්, කෙනෙ­කුට අවශ්‍ය නම් ඉඩම පිළි­බ­ඳව ඕනෑම තීර­ණ­යක් ගැනීමේ අයි­තිය උරු­මය වැඩ­ස­ට­හ­නෙන් පසු ලැබෙ­නවා.

එහෙත් ” උරු­ම­යෙන් ” ඉඩමේ පූර්ණ අයි­තිය ලැබී­මට පෙර කෙනෙ­කුට නිසි විදි­හට නිසි මිල­කට පැව­රුම් ඉඩ­මක් විකි­ණී­මට හැකි­යා­වක් නැහැ. ඒ වගේම ණයක් ගන්න ගියත් රජයේ නිල­ධා­රීන් ගණ­නා­වක් මුණගැසී අත්සන් රැසක් ලබා ගෙන තමයි අවශ්‍ය ණය ගැනී­මට සිදු වෙන්නේ. ගමේ භාෂා­වෙන් කිය­නවා නම්, මේ ණය අරන් ඉවර වෙද්දී ගත්ත කෙනාගේ පණ ගිහින්. ඒත්, පැව­රුම් සහ­තික සඳහා නිසි උරු­මය ලැබුණු පසු මේ කිසිදු දුෂ්කර තත්ත්ව­ය­කට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. එහෙත්, සාමාන්‍ය නීතිය යටතේ තහ­නම් දේවල් කරන්න බැහැ. උදා­හ­ර­ණ­යක් විදි­හට අස්ව­ද්දනු ලබන කුඹු­රක් ගනිමු. එවැනි කුඹු­රක් හිතු­මතේ ගොඩ කරන්න බැහැ. ඒක සාමාන්‍ය නීතියේ තියෙන දෙයක්. දැන් උරු­මය වැඩ­ස­ට­හන යටතේ ලැබුණු ඉඩ­මක් හෝ කුඹු­රක් ගනිමු. ඒවායේ වැඩ කළ යුත්තේ ද සාමාන්‍ය නීතිය යට­තේයි.

උදිත ගුණ­ව­ර්ධන
උපුටාගැනීම ‘දිනමිණ පුවත්පත

Previous articleපාරිභෝගිකයින්ට කවුළු වැසූ විදුලි සේවකයන්ගේ වැඩ තහනම්
Next articleඋසස් පෙළින් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දීම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here