Home අද රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ජනප්‍රිය නැති ඕනෑම තීරණයක් ගන්නවා – ජනපති

රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ජනප්‍රිය නැති ඕනෑම තීරණයක් ගන්නවා – ජනපති

1162
0

රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් අතර හමුවක් 07 වැනිදා යාපනය, වාලම්පුරි හෝටලයේ දී පැවැති අතර එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව පැවැස්‍යී.

ලංකාවේ ද්‍රවිඩ ශිෂ්ඨාචාරය උතුරු පළාත බවත් හින්දු ආගමේ මධ්‍යස්ථානය යාපනය බවත් පැවසූ ජනාධිපතිවරයා උතුරු පළාතේ වැදගත්කම එලෙසම පවත්වා ගනිමින් රටේ ජාතික ආර්ථිකයට උතුරේ ආර්ථිකය කඩිනමින් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

උතුරේ සීග්‍ර ආර්ථික සංවර්ධනය සමඟ නව රැකියා අවස්ථා මෙන්ම, නව ආයෝජන අවස්ථා රැසක්ද ඉදිරියේදී බිහිවනු ඇති බවත් උතුර සංවර්ධනය කර රටම දියුණු කිරීමට උතුරේ සියලු මහජන නියෝජිතයන්ගේ සහය අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“උතුරේ ඉඩම් ප්‍රශ්නය සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුවට 2025 අවසන් වීමට පෙර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවතැන් වූවන් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනවා. උතුරු පළාතේ සුළං සහ සූර්ය බලය යන බල ශක්ති සඳහා තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපනයන බලශක්තියක් කරා බලශක්ති නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. හරිත හයිඩ්‍රජන් හරිත ඇමෝනියා නිෂ්පාදනය කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා.

උතුරු පළාතේ තිබෙන සරු ගොවිබිම්වලට නවීන තාක්ෂණය එකතුකර අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉදිරි දශකය තුළ ලෝකයේ ජනගහනය දෙගුණයක් බවට පත්වීමත් සමඟ ඔවුන්ට ද අවශ්‍ය ආහාර නිපදවීම හරහා අපනයන කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමටත් අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. යාපනයේ පවත්වන වේල් පෙරහැර ලෝකයේ හින්දු බැතිමතුන්ට නැරඹීමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසමින් තිබෙනවා. අගෝස්තු මාසයේ ඇසළ පෙරහැර, කතරගම පෙරහැර වගේම යාපනයේ වේල් පෙරහැරත් සංචාරක ආකර්ශනයට ලක් කිරීමට ඒ අනුව සැලසුම් සහගතව කටයුතු කරනවා.

උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය දියුණු කිරීමේ නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඩයස්පෝරාවට අවස්ථාව ලබාදීමටත් කටයුතු කරනවා. මෙවැනි නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග උතුරු පළාතේ නව රැකියා අවස්ථා මෙන්ම ආයෝජන අවස්ථා ද ඇතිවෙනවා. මේ අනුව උතුරේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන අතර එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ගැනීමට සිදුවන තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට මම කටයුතු කරනවා. අපි සියලු දෙනා එකතුව උතුරු පළාත සංවර්ධනය කර රටම දියුණු කරමු.”

Previous articleරටවිරුවන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් රටට එවලා – මනුෂ
Next articleයළිත් අගමැති පුටුව ශෙයික් හසීනාට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here