Home අද මේක අමාරු ගමනක් – ජනප්‍රිය වැඩක් නෙවෙයි – ජනපති

මේක අමාරු ගමනක් – ජනප්‍රිය වැඩක් නෙවෙයි – ජනපති

1949
0

ආර්ථිකය ගොඩගැනීම සඳහා මේ වනවිට අනුගමනය කරන මාර්ගය හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

“ශිල්ප අභිමානි” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී විශිෂ්ට නිර්මාණකරුවන් සම්මානයට පාත්‍ර වුණි.

ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ, සහන දිය හැකි යැයි පවසන පිරිස් ඊට IMF සහයෝගය ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතු බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

2023 වසරේදී හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූවන් හදුනාගෙන ඔවුන් සම්මානයෙක් පිදුම් ලැබීම මෙහිදී සිදු කරනු ලැබුවා. පසුගිය වසර කිහිපය තුළ රටේ පැවති තත්ත්වයන් හේතුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි වුණා. කෙසේ හෝ අද මෙම ප්‍රදර්ශනය පුරාවට දක්නට ලැබෙන්නේ අපේ ශිල්පින්ගේ දක්ෂතා බව කිවයුතුයි.

මෙම දක්ෂතා ප්‍රයෝජනයට ගනිමින් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. අපට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මෝස්තර පමණක් නොවෙයි, බටහිර මෝස්තරවලින්ද අප ප්‍රයෝජන ලබාගත යුතුයි. ඉන්දියාව දැනටමත් එම කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ඒ පිළිබඳ අපද අවධානය යොමු කළයුතුයි. මෙම සියලු වැඩසටහන් තුළින් අපේක්ෂා කරන්නේ රටේ ආදායම ඉහළ නංවා ගැනීමයි.

මෙහිදී අප අපනයන ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළයුතුව තිබෙනවා. අපනයන කර්මාන්තයෙන් ඈත්වී කටයුතු කිරීම අද අපට රටක් ලෙස අසිරු කාර්යයක්. ඒ වෙනුවෙන් මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඉදිරියේ දී අවශ්‍ය නම් විදේශ තාක්ෂණ දැනුම ලබා ගැනීමට වගේම තම හැකියාවන් දියුණු කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානමින් සිටින බව කිවයුතුයි.

අප පසුකළේ ඉතා අසීරු කාලයක්. එම අසීරු කාලය තුළද කෙසේ හෝ රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට අපට හැකි වුණා. ඒ පිළිබඳ අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඔබ සියලුදෙනාට මම ප්‍රශංසා කරනවා. 2022 වර්ෂයේ අපේ රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටිලයි තිබුණේ. සංචාරකයින් ලංකාවට පැමිණිම නතර වී තිබුණා. මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය රදා පවතින්නේ සංචාරක කර්මාන්තය මතයි.

රටේ ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට අපට සිදු වුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව අපේ ආර්ථිකය නැවත සකස් කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා.

2022 වසරේ ණය ගෙවීමට නොහැකි බව අප කියා සිටියා. ඒ අනුව ඉදිරියට යාම සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟත්වයක් ඇති කර ගැනීමට අපට සිදු වුණා. ඒ නිසා තමයි අලාභ ලබන අංශ සියල්ලම ලාභ ලබන අංශ බවට පත්කිරීමටත්, ඇතැම් සහන අඩු කිරීමටත් අපට සිදු වුණේ.

ඒ අනුව පසුගිය වසරේ තුන්වන සහ හතරවන කාර්තුවලදී තරමක ආර්ථික දියුණුවක් ලබා ගැනීමට අපට හැකි වුණා. අප දැන් පසුගිය වසරේ අවසන් කාර්තු 02හි ප්‍රගතිය සහ මෙම වසරේ කාර්තු 04හි ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කර මෙම වසරේ 2% ධන ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගතහොත් එය ඊළග වසරේදී 5%ක් දක්වා ඉහළ නංවාගත හැකියි. එසේනම් මෙම ආර්ථික වර්ධනය සමඟ අප ඉදිරියට යා යුතුයි. එහිදී අප එකඟත්වයක් ඇතිව කටයුතු කිරීමට අවශ්‍යයි.

අපට තිබු විශාලම ප්‍රශ්නයක් තමයි අප සෑමවිටම මුදල් මුද්‍රණය කිරීම. ඒ වගේම බැංකුවලින් ණය ලබා ගැනීම. එයින් සිදු වුණේ රුපියලේ අගය පහළ යාමයි. රජයේ අවශ්‍යතාවලට බැංකුවලින් ණය අරගෙන රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබුණා. ඒ නිසා බැංකුවලින් ණය ලබා නොගන්න බවට සහ මුදල් මුද්‍රණය නොකරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවිමට අපට සිදු වුණා.

එසේනම් අප රජයේ ආදායම ඉහළ නංවාගත යුතුව තිබෙනවා. අපට මෙම වසරේදී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගැනිමට සිදු වෙනවා. එය අවසන් කිරීමට තිබෙන්නේ 15%ක ඉලක්කයකින්. දළ ජාතික නිෂ්පාදනයෙන් 15%ක ආදායමක් ලබා ගත හැකිනම් අපට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ශක්තියක් තිබෙනවා.

මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නම් සහ බැංකුවලින් ණය ලබාගත නොහැකි නම් අපට තිබෙන එකම මාර්ගය රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමයි. එහිදි වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. ඒ අනුව 15%ක්ව තිබු වැට් බද්ද 18%ක් දක්වා වැඩි කළා. ඒ වගේම වැට් බදුවලින් ඉවත්ව තිබු භාණ්ඩ ගණනාවක් වැට් බදු යටතට පත් කළා. එමඟින් දැන් අපට අවශ්‍ය ආදායම ලැබෙනවා. එම නිසා රුපියල ශක්තිමත් වෙනවා. අසීරුවෙන් වුවත් එම බර දරා ගැනීමට අප සියලුදෙනාට සිදුවී තිබෙනවා. අමාරුවෙන් හරි අපි යා යුත්තේ මෙම මාර්ගයෙයි. එයින් ඉවත්වුණොත් අපට අනාගතයක් නැහැ.

ජනතාවට ලබාදිය හැකි සෑම සහනයක්ම සැලසීමට අප කටයුතු කර තිබෙනවා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දිමනාවක් ලබාදීම, අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීම, ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වැනි සහන ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් සහන ලබාදීමට කටයුතු කරනවා.

මෙම මාර්ගය හැර අපට වෙනත් මාර්ගයක් නැහැ. ඇතැම් අය කියනවා මුදල් මුද්‍රණය කරන්න, බැංකු ණය ලබා ගන්න කියලා. එය සිදු කළහොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන්නේ නැහැ. මේ යන මාර්ගයේ දුෂ්කරතා තිබුණත් වසර අවසානයේ රුපියල ශක්තිමත් වෙනවා. වසරින් වසර එම අගය ඉහළ යනවා.

තමන්ට එම වටිනාකම ලැබෙනවා. නමුත් ඉන් බැහැරව කටයුතු කළහොත් රුපියලේ අගය නැවත පහළ යනවා. සහන දෙනවා කියන්නේ රුපියල අවප්‍රමාණය කිරීම නොවෙයි. එය අපට කරන්න බැහැ.

ඒ නිසා මෙය ජනප්‍රිය වැඩපිළිවෙළක් නොවෙයි. මේ හැර වෙනත් විකල්පයක් නැහැ. මේ හැර රට ගොඩගැනීමේ වෙනත් වැඩපිළිවෙළක් යමෙකුට තිබේ නම් එය ඉදිරිපත් කළ යුතුයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නේ කෙසේද කියා ඔවුන් ප්‍රකාශ කළයුතුයි. අපට ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටිණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ.

අසීරුකම් මධ්‍යයේ වුවද දැන් රට දියුණු වෙමින් පවතිනවා. පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරයේ යම් ප්‍රගතියක් ඇති වුණා. ඒ අනුව එම ක්ෂේත්‍රයේ කටයුතු කරන අයගේ ගැටළු විසඳෙමින් තිබෙනවා. මේ අන්දමට ඉදිරියේදී අනෙකුත් ක්ෂේත්‍රවලද ගැටලු නිරාකරණය වෙනවා.

කෙසේ හෝ මෙම අවස්ථාවේ රුපියල අවප්‍රමාණය කිරීමට මම කැමති නැහැ. යුක්‍රේන යුද්ධය තිබෙනවා. ගාසා තිරයේ යුද්ධය තිබෙනවා. එහි භාණ්ඩ මිල වැඩි විය හැකියි.

දැනටමත් රතු මුහුදේ හූතී කණ්ඩාම් නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනා ගමනය නැවති තිබෙනවා. මෙම නැව් රතු මුහුදෙන් එන්නේ නැතිව දකුණු අප්‍රිකාව වටේ ගමන් කළහොත් එයින් බඩු මිල ඉහළ යනවා. එම නිසා හූති වැඩකටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට අප එකඟ වී තිබෙනවා.

රුපියල ශක්තිමත් කරගෙන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ අප ඉදිරියට ගියහොත් අපට ඉක්මණින් දියුණුවක් ලබා ගැනිමට හැකියාව තිබෙනවා. එහිදී මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයත් විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත්කළ යුතු අතර ඊට අවශ්‍ය සහය ලබාදිමට රජය කටයුතු කරන බව ද මම සිහිපත් කිරීමට කැමතියි.

Previous articleසේවාවට බාධාවක් නම් වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්න
Next articleගෝඨට වැරදුනේ අපිට වගකීම් නොදුන් නිසයි – නාලක ගොඩහේවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here