Home අද ඉන්දු-පැසිෆික් කලාපයේ  දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ඉන්දු-පැසිෆික් කලාපයේ  දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

2145
0

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ඊයේ (18) නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 03 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට එක්වෙමිනි.
කාර්නෙගී එන්ඩොව්මන්ට් (Carnegie Endowment) සහ සසකවා පදනම විසින් සංවිධානය කර තිබු මෙම සංවාදයේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළේය.  ජාත්‍යන්තර සාමය සඳහා වන කාර්නෙගී එන්ඩොව්මන්ට් හි ප්‍රතිපත්ති පර්යේෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෑන් බෙයර් (Dan Baer) විසින් එය මෙහෙයවන ලදී.

ප්‍රධාන ලෝක බලවතුන් අතර එදිරිවාදිකම්වලට මැදිහත්වීමට ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍යයන් කැමැත්තක් නොදක්වන අතර මෙම රටවල් සිය සමාජ, ආර්ථික සහ පාරිසරික සංවර්ධනය ඇතුළු ඔවුන්ගේ ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් තම රටවල ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තවද ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෝ චීනය සමඟ සන්ධානගත නොවන බවත් අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම කලාපයේ අනෙක් රටවල් ද සිය රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සඳහා කැපවී සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාවෙන් සමන්විත ක්වොඩ් (Quad) රටවල් හා චීනයේ අරමුණුවලට සම්බන්ධ නොවන ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් ජාතීන්ට තමන්ටම ආවේණික වූ ප්‍රමුඛතා පවතින බවත් ඊට ගරු කිරීමට කැමති ඕනෑම හවුල්කරුවෙකු සමඟ සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
චීනයේ නැඟී සිටීම APEC සහ ASEAN වැනි පවත්නා කලාපීය රාමු තුළ සිදු වූ බවත්, බොහෝ රාජ්‍යයන් එය පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
මෑත කාලීනව මෙම රාමුවලින් ඔබ්බට මහා බල එදිරිවාදිකම් ව්‍යාප්ත වීම නිසා සාමාජික රටවල් අතර කනස්සල්ලක් මතුව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

Previous articleශක්තිමත්වීමට ලංකාවට සහාය දෙනවා – ලෝක බැංකු සභාපති ජනපතිට පවසයි
Next articleඇමරිකාවේදී ෆේස්බුක් ලොක්කෙක් හමුවු ජනපති ඔවුන්ට කිව්වේ මොනවාද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here