Home අද ශක්තිමත්වීමට ලංකාවට සහාය දෙනවා – ලෝක බැංකු සභාපති ජනපතිට පවසයි

ශක්තිමත්වීමට ලංකාවට සහාය දෙනවා – ලෝක බැංකු සභාපති ජනපතිට පවසයි

2417
0

රට ගොඩනැගීමට මේ වනවිට සිදුකරන වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය හිමිවන බවත් ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහාය ලබා දෙන බවත්  ලෝක බැංකු සභාපති  අජේ බංගා (Ajay Banga) මහතා ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (18) පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව සඳහන් කළේය.

එසේම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බවත් එම ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ලෝක බැංකු සභාපතිවරයා පැවසීය.

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලෝක බැංකුව විසින් දක්වන ලද සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පළමුව ලෝක බැංකු සභාපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

දැනට ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ මාවකට අවතීර්ණ වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනද අවසන් අදියරට ළඟාවෙමින් පවතින බව ප්‍රකාශ කළේය.

ඉහළ ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරි දශකය තුළ රට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම තම අපේක්ෂාව බවත් පසුගිය ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට දියුණුවේ ස්වර්ණමය දොරටුවක් විවර කර දී ඇති බව තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සංචාරක, කර්මාන්ත සහ ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම නවීකරණය යන ක්ෂේත්‍ර මූලික කරගනිමින් ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමගම වැවිලි සමාගම් සමඟ ද සාකච්ඡා කර සාම්ප්‍රදායික අපනයන භෝග ද ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්මාන්තයේ නවීකරණ ක්‍රියාදාමයක් සිදු කිරීමට රජය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකු සභාපතිවරයාට ආරාධනා කළ අතර, ලෝක බැංකු සභාපතිවරයා විසින් එම ආරාධනාව පිළිගනු ලැබීය.

අවශ්‍ය උපදේශන සේවා හෝ අනෙකුත් තාක්ෂණික සහයන් සඳහා ඕනෑම අවස්ථාවක තමා හෝ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානී සම්බන්ධ කර ගන්නා ලෙස දැනුම් දුන් ලෝක බැංකු සභාපතිවරයා ලෝක බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානි මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ද සඳහන් කළේය.

සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ගෙන ඇති ප්‍රවේශය අවධානමින් අඩු නමුත් ඵලදායීතාවයෙන් වැඩි බව පෙන්වා දුන් ලෝක බැංකු සභාපතිවරයා එය මේ මෙහොතේ ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන බව ප්‍රකාශ කළේය.

ලෝක නාවික ගමන් මාර්ගයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව සතු සුවිශේෂී භූගෝලීය පිහිටීම ද වෙළෙඳ හා නාවුක කටයුතු මගින් ආර්ථික වාසි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු වරායන් ද උපයෝගී කර ගත හැකි බව ලෝක බැංකු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය, සුළං, සූර්යබලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ලෝක බැංකුවේ සහාය ලබදෙන බව ද පැවසීය.

එමෙන්ම දැනට ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය බලශක්තියෙන් සම්බන්ධ කෙරෙන “බලශක්ති අන්තර් සම්බන්ධතා පද්ධතිය” සඳහා සම්බන්ධ වීමට ලෝක බැංකුව කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය.

අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ඩිජිටල්කරණයට ලක්කිරීම මඟින් ඒවායේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එවැනි පරිවර්තනයන් සිදුකිරීමේදී ගුරුවරුන්ගේ ද ඇතුළුව විවිධ වෘත්තිය සමිති විසින් ඍජුවම ඊට බාධා එල්ල කිරීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තමාට වැදගත් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බවයි. එසේම සෑම ක්ෂේත්‍රයකම විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම තම අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය.

Previous article මෙරට තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක්
Next articleඉන්දු-පැසිෆික් කලාපයේ  දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here