Home අද  මෙරට තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක්

 මෙරට තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක්

2309
0

ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා අතර නිල හමුව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේ දී ඊයේ (18) සිදුවිය.

ශ්‍රි ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව  ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කැපවීම ද මෙහිදී අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර සුහද කථාබහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් විය.

දැනට ශ්‍රී ලංකික තරුණ තරුණියන් විශාල පිරිසක් දකුණු කොරියාවේ රැකියාවල නිරතවන අතර ඔවුන් එරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.

එසේම දකුණු කොරියාවේ සේවයෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් නැවත සිය රටට පැමිණෙන්නේ නිපුණතාවයෙන් යුත් ශ්‍රමිකයන් ලෙස බව පෙන්වා දුන් දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආර්ථිකයට එයින් මනා දායකත්වයක් ලබාගත හැකි බව ද සඳහන් කළේය.

එසේම ඩිජිටල්කරණය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දුන් අතර ඩිජිටල්කරණයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට බොහෝ ආදර්ශයන් ලබාගත හැකි බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.

නුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කළේය.

 

Previous articleඋගත් ශ්‍රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතුයි -“G77” සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි
Next articleශක්තිමත්වීමට ලංකාවට සහාය දෙනවා – ලෝක බැංකු සභාපති ජනපතිට පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here