Home අද උගත් ශ්‍රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතුයි -“G77”...

උගත් ශ්‍රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතුයි -“G77” සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි

2548
0

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බවත් දියුණුවෙමින් පවතින රටවල උගත් ශ්‍රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී   ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය,

සංවර්ධන ක්‍රමවේදයන් හඹායාමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අවශ්‍ය පරිවර්තනයන් සිදු කිරීමටත්, එම ක්‍රියාවලීන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒ සඳහා අත්‍යාවශ්‍ය දැනුමෙන් හා තාක්‍ෂණයෙන් පරිපූර්ණ උගත් ශ්‍රම බලකායක් සිටිය යුතුයි.

දැනට දුර්වල ක්‍රියාකාරීත්වයකින් යුත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ආයතන පිළිබඳ ඇගයීමට ලක්කිරීමට සහ තාක්ෂණ හා නවෝත්පාදන කවුන්සිලයක් මෙන්ම ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් තාක්ෂණික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස නව තාක්‍ෂණවේදයන් සඳහාම විශේෂිත වූ නව විශ්ව විද්‍යාල හතරක් ඇතිකිරීමට ද ශ්‍රී ලංකාව සැලසුම් කර තිබෙනවා. එසේම, යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය එහි පස්වැන්න ලෙස ස්ථාපනය කිරීමට ද අප අපේක්ෂා කරනවා.

“G77 සහ චීනය” කණ්ඩායම තුළ ඵලදායි සහයෝගීතා යාන්ත්‍රණයක් අවශ්‍යව තිබෙනවා. ගෝලීය දකුණ සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය පිළිබඳ එකමුතුව (COSTIS) පුනර්ජීවනය කිරීම සඳහා එහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු පවත්වා ගෙන යාම වෙනුවෙන් දශකයක් පුරා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 01%ක් වෙන් කිරීම මගින් සාමාජික රටවල් යම් කැපකිරීමක් සිදු කළ යුතු බව මම යෝජනා කිරීමට කැමතියි.

යුරෝපා සංගමයේ තාක්ෂණ සහ නවෝත්පාදන අංශය අනුගමනය කරමින් ඩිජිටල්කරණය, සෞඛ්‍ය, වෛද්‍ය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ හරිත හයිඩ්‍රජන් වැනි පුනර්ජනනීය බලශක්තිය ආදී ක්ෂේත්‍රවල තාක්ෂණික වේදිකා නිර්මාණය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා.

ගෝලීය දකුණේ සිට උතුරට සිදුවන බුද්ධි ගලනයෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් ශ්‍රම බලකාය අහිමි වීම දකුණේ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්හි සංවර්ධනයට තවත් තර්ජනයක් බවට පත්ව තිබෙනවා.

චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය පෝෂණය කරමින් විද්‍යා තාක්‍ෂණය සහ නවෝත්පාදනය දියුණු කර තිබෙනවා. ඒ නිසා ගෝලීය දකුණ වශයෙන් අපගේ උගත් ශ්‍රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතුයි.

ගෝලීය දකුණේ රටවල් වඩා සමීප සහයෝගීතාවයක් පවත්වා ගැනීමට කැපවිය යුතුයි. සහයෝගීතාව වැඩි දියුණු කිරීම, හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සහ විද්‍යාව, තාක්‍ෂණය හා නවෝත්පාදනයන්ගේ පරිවර්තනීය හැකියාවන් උපයෝගී කර ගන්නා ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම වෙනුවෙන් කොළඹ සැලැස්මට සමාන යෝජනා ක්‍රමයක් ඇති කිරීමට ද මම මෙහිදී යෝජනා කරනවා.

නව හවානා ප්‍රකාශනයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද අවධාරණය කළයුතුයි. “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ සාමූහික හඬ ජාත්‍යන්තරයට ගෙන යාමට එක්වන ලෙස ද මම සියලු සාමාජික රටවලින් ඉල්ලා සිටිනවා.

 

Previous articleශ්‍රී ලංකාවට අවාසනාව ගෙන ආ මූසල පොහොට්ටු සාපය
Next article මෙරට තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here