Home අද පාස්කු දින ප්‍රහාරය පිටුපස රාජපක්ෂලා සිටි බව Channel 4 තහවුරු කරයි.

පාස්කු දින ප්‍රහාරය පිටුපස රාජපක්ෂලා සිටි බව Channel 4 තහවුරු කරයි.

4349
0

2019 වසරේ මෙරට සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විශේෂ වාර්තාමය වැඩසටහනක් ඊයේ (05) දිනයේ විකාශනය කරනු ලැබුවා.

එම වාර්තාමය වැඩසටහන මඟින් මෙම ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පුරවැසි අරගලයෙන් අනතුරුව ජනතාව විසින් පන්නා දැමු ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙන එම සඳහා සැලසුම් කරන ලද ප්‍රහාරයක් බව තහවුරු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකිරීම සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමට නායකත්වය දුන් සහරාන් හෂීම් සහ එම කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඔවුන්ට පහසුකම් සපයා ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ බව හන්සීර් අසාද් මවුලානා නමැත්තා පවසනවා.

හන්සීර් අසාද් මවුලානා නැමැත්තා පිල්ලෙයාන් නොහොත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ සමීපතමයකු මෙන්ම එම කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර ඇති අතර පිල්ලෙයාන් විසින් ඔහුට දැනුම් දීමෙන් අනතුරුව සහරාන් සහ සලේ හමුව ඔහු විසින් සුදානම් කල බවත් නැවත රාජපක්ෂලාට බලයට පැමිණීමටනම් ලංකාව තුළ අනාරක්ෂිත තත්වයක් නිර්මාණය කල යුතු බවට එම සාකච්ඡාවෙන් අනතුරුව සලේ තමන් සමඟ පැවසූ බවත් හන්සීර් අසාද් මවුලානා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපති ලෙස සිටියදී ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ යුද ජයග්‍රහණයෙන් අනතුරුව කොටි ත්‍රස්තවාදීයකු ලෙස කටයුතු කළ පිල්ලෙයාන් නොහොත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සමඟ සමීපව කටයුතු කල බවත් ජ්යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට ඔවුන් කටයුතු කළ බවත් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය යටතේ සිටි “ට්‍රිපොලි” කණ්ඩායම භාවිතා කළ බවත් මේ වීඩියෝවේ සාක්ෂි ලබාදෙමින් පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා නැමැත්තා පවසනවා.

“අපි ගෝඨාභය රාජපක්ෂ මුණගැසුනා ඔහුගේ කාමරයේදී. ඔහු ඉදිරියෙහි ‘සන්ඩේ ලීඩර්’ පත්‍රය තිබුණා. ඔහු කිව්වා, “මේ බල්ලා”, සිංහලෙන් බල්ලා කියන්නේ Dog ට. මේ බල්ලා නිතරම මාත් එක්ක ගැටෙමින් සිටිනවා. ලසන්ත මරා දැමිය යුතුයි කියලා ඔහු කිව්වා. ඔබට හැකි නම්, ඔබ ඒක වහාම කරන්න. හැකි ඉක්මනින්.” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පැවසු බව හන්සීර් අසාද් මවුලානා පවසනවා.

ඒ සඳහා මෙම “ට්‍රිපොලි” කණ්ඩායම යොදාගෙන ඇති බවට ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා දුරකථන සන්නිවේදන දත්ත ඇසුරෙන් පවසනවා. ඒ සම්බන්ධයෙන් කට උත්තර ලබාගැනීම සඳහා ඔහු ගෝඨාභය රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර රාජපක්ෂ නැවත බලයට පත්වීමෙන් අනතුරුව ඔහුට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් නිශාන්ත සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විදෙස් රටකට ගොස් තිබෙනවා.

හන්සීර් අසාද් මවුලානා නැමැත්තාට අමතරව මෙරට බුද්ධි අංශයේ සේවයේ කළ සිය අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ ඉහළ පෙළේ නිලධාරියකුද මෙම ප්‍රහාරය රාජපක්ෂවරු නැවත බලයට ගෙනඒමට දියත්කළ ත්‍රස්ත ප්‍රහාරයක් බවත් සඳහන් කරනවා.

මවුලානා ශ්‍රි ලංකාවෙන් පලාගොස් යුරෝපීය බුද්ධි අංශ වලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිය සාක්ෂි ඉදිරිපත් කර ඇති අතර ඔහුගේ ප්‍රකාශයන් විශ්වාසනීය බවට සලකමින් ඒ කරුණු මත මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 269 දෙනෙකු මියගොස් ඇති අතරඉන් 43 දෙනෙකු විදේශීය සංචාරකයන් වනවා.

චැනල් 4 නාලිකාවේ විකාශය වූ වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Previous articleදේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය මේ සතිය තුළ අවසන් කළ යුතුයි
Next articleමෛත්‍රී දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here