Home අද නිවසේ කාමරයක් සංචාරකයන්ට ලබාදී ඩොලර් සියයක් උපයන්න සූදානම් වෙන්න

නිවසේ කාමරයක් සංචාරකයන්ට ලබාදී ඩොලර් සියයක් උපයන්න සූදානම් වෙන්න

54919
0

නිවසේ කාමරයක් දෙකක් සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඉහළ ආගන්තුක සේවාවක් සැපයීමට ජනතාව සුදානම් නම් සහ ඒ සඳහා ඩොලර් සියකකට වැඩිය අය කිරීමක් සිදු කළ හැකි බවත් නම් එම කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබා දීමට රජය කටයුතු කර බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) පස්වරුවේ එක් වෙමිනි.

දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර ඔවුන් ඉලක්ක කර ගනිමින් එම කලාපය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

අප මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරගතයුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් හතර පස් ගුණයකින් වැඩි කර ගත යුතුයි. 1981 දී මම මාලදිවයිනේ සිදු කළ සංචාරයේ දී සංචාරකයින්ගෙන් එම රටට ලැබුණු ආදායම ඩොලර් 25යි. අපේ රටට පැමිණෙන සංචාරකයන්ට වඩා අඩු පිරිසක් තමයි එදා මාලදිවයිනට පැමිණියේ. අද අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වන ලක්ෂ 25කට සමාන සංඛ්‍යාවක් මාලදිවයිනට ද පැමිණෙනවා.

අප එක සංචාරකයෙකුගෙන් අය කර ගනු ලබන්නේ ඩොලර් 200ක පමණ මුදලක්. මාලදිවයිනේ ඩොලර් 700ක් පමණ අය කර ගන්නවා. එසේ නම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මෙන්ම මිලද ඉහළ නංවා ගත යුතුයි.

මම ජනාධිපති ධූරයේ වගකීම භාර ගැනීමෙන් පසුව ණය අර්බුදයෙන් රට බේරා ගැනීම පමණක් නොව නව ආදායම් උපයා ගැනීමේ මාර්ග සකස් කිරීමේ වගකීම ද මට පැවරී තිබුණා. කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආදායම් ලබා ගැනීමට කාලයක් ගත වෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් අපට කඩිනමින් එම දායකත්වය ලබා ගත හැකියි.

ඒ නිසා අපේ අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ආදායම් උත්පාදනය කර ගෙන ජනතා අවශ්‍යතා සපිරිමයි. මේ වසර අවසන් වන විට මෙරට සංචාරක හෝටල්වල කාමර පිරී යන තරමට සංචාරකයන් පැමිණිය හැකියි. එය දැන් සිදු වෙමින් පවතිනවා. ලබන වසර වන විට සංචාරකයන්ගෙන් කාමර පිරී යාම පමණක් නොව ඉන් ලැබෙන ආදායම දෙගුණයක් බවට පත්කරගත යුතුව තිබෙනවා.

මහනුවර ඓතිහාසික දළදා පෙරහර හා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නිසා මෙම වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරක හෝටල් වෙන් කර තිබෙනවා. නත්තල් සමයේ දී මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට මෙන්ම ලෝක ප්‍රසිද්ධ කලා කරුවන් මෙන්ම සංගීතවේදීන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. බටහිර ලෝකයේ ප්‍රධාන සංගීතඥයෙක් වන ඇන්ඩ්‍රේ බුචෙලි ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණෙන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ වගේම ගාලු සාහිත්‍ය උළෙල ඇතුළු වැඩසටහන් රැසක් රට පුරා පැවැත්වෙනවා. අප මෙයින් අපේක්ෂා කරන්නේ සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගෙන රටට අවශ්‍ය මුදල් උත්පාදනය කර ගැනීමයි. ඒ සමගම මෙය ආදායම් මාර්ගයක් මෙන්ම රැකියා මාර්ගයක් බවට ද පත් කළයුතුව තිබෙනවා. ඒ සඳහා තරුණ තරුණියන් වැඩි වශයෙන් පුහුණු කළයුතුයි. ඇතැම් අවස්ථාවල මෙය විදේශ රැකියා සඳහා ගමන් බලපත්‍රයක් බවට පත් කර ගෙන තිබෙනවා. තමන්ගේ අනාගතය ගොඩනඟා ගන්නා අතරම මෙම කටයුතු සඳහා ද දායකවීමේ වගකීම සියලුදෙනාට තිබෙනවා.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවක් වෙනුවෙන් නව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබෙනවා.

ඒ වගේම තමන්ගේ නිවසේ කාමරයක් දෙකක් සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඉහළ ආගන්තුක සේවාවක් සැපයීමට ජනතාව සුදානම් නම් සහ ඒ සඳහා ඩොලර් සියකකට වැඩිය අය කිරීමක් සිදු කළ හැක නම් එම කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබා දීමට රජය කටයුතු කරනවා.

සංචාරක කර්මාන්තයේ ඉලක්ක ඉටු කර ගැනීමට ප්‍රමුඛ අවධානයක් යොමු කරන අතර කෙටි කාලීන අදායම් සහ රැකියා මාර්ග උදා කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සියලුදෙනාගේ සහාය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.පී. හේරත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් යන මහත්වරුන් ද හිල්ටන් හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ (ගිනිකොණ දිග ආසියාව) ජෙමි මීඩ් (Jamie Mead), ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ (ආසියා සහ ඕස්ටේලියා) ජොශ් රොබර්ට්ස් (Josh Roberts) ශ්‍රී ලංකා හිල්ටන් හෝටල් සමූහයේ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී මනේෂ් ප්‍රනාන්දු, හිල්ටන් යාල රිසෝර්ට් සාමාන්‍යාධිකාරී ගීතාංජලී චක්‍රිවර්ති යන මහත්ම මහත්මීහු ද Melwa Hotels & Resorts Private Limited හි අධ්‍යක්ෂ මුරුගා පිල්ලෙයි මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාව එක්ව සිටියහ.

Previous articleචතුරංගගේ මත විමසුමෙන් රනිල් දිනුම් අනුර පරාදයි
Next articleකුරුන්දි විහාරයේ ගැටලුව ජන්ද ගුණ්ඩුවක් – ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් නලින්ද කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here