Home අද කුලියාපිටියේ අයවැය ක්‍රියාත්මක කිරීම අර්බුදයක

කුලියාපිටියේ අයවැය ක්‍රියාත්මක කිරීම අර්බුදයක

713
0

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී එහි විසඳුම් සොයමින් සිටින අවස්ථාවක මධ්‍යම රජය සේම කුලියාපිටිය නගර සභාවද මේවනවිට දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙස මේවනවිට කුලියාපිටිය නගර සභාව 2023 අයවැය යෝජනා ක්‍රියාත්මත කිරීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.  2023 වර්ෂයේ මේවනවිට මාස 06 ක් ගත වී තිබුණ ද මෙම මාස 06 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබු අයවැය යෝජනා නගර සභාව නිසිපරිදි ක්‍රියාත්මක කර නොමැත.

මේවනවිට පළාත් පාලන ආයතන  විසුරුවා ඇති බැවින්  කුලියාපිටිය නගර සභාව ද ක්‍රියාත්මක වන්නේ නිලධාරී පාලනය යටතේය. සභාපතිවරයෙකු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ සභාවක් නොමැති බැවින් නව යෝජනා සම්මත වීම් කිසිවක් මෙහි සිදු නොවන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් සම්මත කර තිබෙන අයවැය යෝජනාද මේවනවිට ක්‍රියාත්මක නොවන තත්වයක් උද්ගතවී තිබේ.

තවමත් වැඩ අවසන් නැති වෙළඳ සංකීරණය

නගර සභාවේ විශාලම ව්‍යාපෘතිය ලෙස මහල් හයකින් යුතු නව වෙළඳ සංකීරණ සහ බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නගර සභාව ආරම්භ කළ අතර මේවනතුරු එය අවසන් කරගැනීමට නොහැකිව තිබේ. මේ සඳහා රුපියල් මිලියන 1082.91 ක වියදමක් සිදුකර ඇති අතර ඒ සඳහා දේශීය ණය සංවර්ධන අරමුදලේ ණය මුදල්  සහ නගර සභා අරමුදල් යොදවා ඇත. 2020 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකළ මෙහි , මේ වනවිට ඉදිකිරීම් 85% ක් පමණ අවසන් වී තිබේ. මේ වසරේ මාර්තු 15 වන වනවිට එය විවෘත කිරීමට සැලසුම්කර තිබුණ ද මෙතෙක් එය අවසන් කරගැනීමට නොහැකිවි තිබේ. මෙහි වැඩකටයුතු අවසන් කිරීම මේ වනවිට නගර සභාවේ ප්‍රධාන කාර්ය බවට පත්ව තිබෙන අතර ඒ සඳහා මුදල් යොදවාගැනීමට ඇතැම් අත්‍යවශ්‍ය කටයුතු ද නවතා දැමීමට නගර සභාවේ අවධානය යොමුව තිබේ.

නවතා ඇති සංවර්ධන යෝජනා

2023 වර්ෂය සඳහා නගර සභාව සම්මත කළ අයවැය තුළ මාර්ග සංවර්ධනය සහ නඩත්තු  වෙනුවෙන් විදයම් ලෙස රුපියල් 5000000.00 මුදලක් ඇස්සතමේන්තු ගතකර තිබුණ ද ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු  ධර්මපාල මාවත , මිහිදු මාවත , හිරිලියද්දි පාර , ගෝඨාභය පළමු පටුමග , ලයනල් ජයතිලක මාවත සංවර්ධන කටයුතු නවතා ඇත. එමෙන්ම පානීය ජලය සපයන ජල පවිත්‍රාගාරයේ අලුත් වැඩියා කටයුතු , ජල පොම්ප මිලදී  ගැනීම් නළ මිලදී ගැනීම් මෝටර් මිලදී ගැනීම් ද නගර සභාව තාවකාලිකව අත්හිටුවා තිබේ.

තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතන අයවැය මගින් යෝජනා ඉදිරිපත් කර තිබුණද එම යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවෙති. පසුගිය වසර වලද කුලියාපිටිය නගර සභාව තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක සපුරාගැනීම වෙනුවෙන් යෝජනා කර තිබු යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී තිබිණි. කෙසේවෙතත් මේ වසරේ පළමු මාස 06 තුළ තිරසර සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මත කිරීම අත්හිටුවා ඇත.

වාහන සියල්ල ලබාදීලා

පළාත් පාලන නිල කාලය පසුගිය මාර්තු මාසයේදී අවසන් වු අතර පළාත් පාලන මැතිවරණය පැවැත්විමේ දිනයක්  සම්බන්ධයෙන් මේ වනතුරු ප්‍රකාශයට පත්වී නොමැත. කෙසේවෙතත් කුලියාපිටිය නගර සභාවේ සභාපති උපසභාපති ඇතුළු නිල වාහන භාවිතා කළ පුද්ගලියන් නිල කාලය අවසන්වීමත් සමගම වාහන භාරදී තිබීම විශේෂත්වයකි. ‌තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරු නිරීක්ෂණය කිරීමේදී ද එම කාරණය තහවුරු කරගැනීමට හැකියාව ලැබුණි. නිල කාලය අවසන් උවද ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් නිල වාහන මෙතෙක් භාරනොදීමේ සිදුවීම් වාර්තාවී තිබුණු අතර ඇතැම් වාහන මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදාගෙන තිබුණි. කෙසේවෙතත් කුලියාපිටිය නගර සභාවේ නිල වාහන සම්බනධයෙන් විනිවිධ භාවයෙන් කටයුතු කිරීම අගය කළ යුත්තකි.

දෛනික වියදම් නිසියාකාරව

2023 අයවැය මගින් කුලියාපිටිය නගර සභාවේ පොදු පරිපාලනය සහ කාර්ය මණඩලය සේවා වෙනුවෙන් රුපියල් 44 214 600 .00 ,  සෞඛ්‍ය සේවා වෙනුවෙන් රුපියල් 56 618 180 .00 සහ භෞතික සැලසුම් වෙනුවෙන් රුපියල්  46 569 720 .00 සම්මත කර තිබේ. එමෙන්ම ජල සේවා ගත්තු වෙනුනේ රුපියල් 39 149 680.00 ක මුදලක් මහජන උපයෝගීතා වෙනුවෙන් රුපියල් 7 380060.00 ක මුදලක් ද බස්නැවතුම වෙළඳ සංකීරණය සහ නව බහුකාර්ය ගොඩනැගිල්ල වෙනුවෙනේ රුපියල්  122 753 520.00 සහ  පුස්තකාල සේවා වෙනුවෙන් රුපියල් 7886260.00 ක මුදලක් සම්මත කර ගෙන තිබේ . ප්‍රජා මණ්ඩල සහ පෙර පාසල් වෙනුවෙන් රුපියල් 5 895 860.00 ක මුදලක්ද    විනෝද ක්‍රීඩා පහසුකම් 410 000.00 ක මුදලක් ද ඇස්තමේන්තු ගතතර කර අයවැය මගින් සම්මත කර ඇත. එසේ උවද මේවනවිට නගර සභාව විසින් දෛනික වියදම් පියවීම පමණක් සිදුකරයි.  දෛනික වියදම් සියල්ල නිසියාකාරයෙන් සිදුකිරීමටත් එහි අඩුපාඩු හෝ මුදල් ගෙවීම් පැහැරහැරීම් නොමැතිව කටයුතු කරගෙන යාම විශේෂත්වයකි.

අපහසුවක් තිබුණක් වැඩ කරගෙන යනවා

නගර සභාවේ වර්තමාන කටයුතු සම්බනධයෙන් දුෂ්කරතාවයක් තිබෙන බව ඒ සම්බන්ධයෙන් විමසීමේදී සභාවේ ලේකම් එච් ඒ එස් ඩී සෙනරත් මහත්මිය පිළිගන්නා ලදී.  නගර සභාවේ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුරටත් ලේකම්වරිය පැවසුයේ මෙවැන්නකි,

“මේවනවිට සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. නමුත් අපි අලුතෙන් හදන ගොඩනැගිල්ලට ගොඩක් මුදල් ගෙවන්න තිබෙනවා. කොන්ත්‍රාත් කොම්පැණියට ගෙවන්න තිබෙනවා ඒවගේම ණය වාරික ගෙවන්න තිබෙනවා. ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරන්නනේ කවද්ද කියලා හරියටම කියන්න අමාරු තත්වයක ඉන්නේ. මේ නිසා වෙනත් සංවර්ධන වැඩ කරන්නේ නැහැ .මේ වියදම දිගටම මෙහෙම යන්න ගියොත් අමාරුයි . අපි අපේ සංවර්ධන වැඩකටයුතු සම්පුර්ණයෙන්ම නවත්වලා නැහැ තාවකාලිකව අඩුමට්ටමකින් කරගෙන යනවා. එදිනෙදා කටයුතු කරගෙන යනවා. ණය ගෙවීම් දීර්ඝ කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.   අපේ අපහසුතාවයට ලක්වෙලා තිබෙන්නේ මේ ගොඩනැගිල්ල පමණයි. එහෙම නැතිව අපි වෙනත් කිසිම ණයක් හෝ මුදල් නොගෙවා සිටීමක් සිදුවෙන්නෙ නැහැ. නගර සභාවේ කටයුතු අඩාල නොවන ආකාරයට අපි කරගෙන යනවා.” යැයි පැවසුවාය.

කුලියාපිටිය නගර සභාව කාර්යක්ෂමව පවත්වාගෙන යන නගර සභාවක් බවට පළාත සභාව මගින් මෙන්න පළාත් පාලන අමාත්‍යාංශය මගින්ද හදුනාගෙන තිබෙන සම්මානලාභී පලාත් පාලන ආයතනයකි. පළාත් පාලන ආයතන ක්‍රම ක්‍රමයෙන් සිය කාර්යක්ෂමතාවය ඉහළ නංවාගත යුතු අතර ආර්ථික කාරණා සඳහා ද කඩිනම් විසඳුම් සොයගතහොත් කුලියාපිටිය නගර සභාවටද යළිත් කාර්යක්ෂවම කටයුතු කරගැනීමට හැකිවනු ඇත.

  • චාමර සම්පත්

 

 

Previous articleසැප්තැම්බර් වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් කරනවා – ජනපති
Next articleකිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් වෙන්නෙ නැහැ – මහ බැංකු අධිපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here