Home අද සැප්තැම්බර් වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් කරනවා – ජනපති

සැප්තැම්බර් වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් කරනවා – ජනපති

187
0

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර, වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 19 සහ 20 යන දෙදින තුළ ලන්ඩන් නුවර පැවති එහි වාර්ෂික සංසදය අතරතුර මෙම සාකච්ඡාව පැවැත්විණි.

පරිසර අභියෝග, ආර්ථික සමෘද්ධිය සහ ජාතික ආරක්ෂාව යන්න සංකීර්ණ මාතෘකා බවට පත්ව ඇති යුගයක, දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් වඩා සුරක්ෂිත සහ සමෘද්ධිමත් ලෝකයක් ගොඩනැඟීමට එක්ව කටයුතු කරන්නේ කෙසේද, යන්න සාකච්ඡා කිරීමේ අරමුණින් ලෝක නායකයන් මෙවර සංසදය සමඟ එක්ව සිටියහ.

ස්ටීවන් හාපර් මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා ජනාධිපති ධූරයේ වගකීම භාර ගැනීම, රටේ ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන වැඩසටහන පිළිබඳව ද දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අපේක්ෂාවන් ශක්තිමත් කරමින් දීර්ඝ කාලීනව වඩාත් හිතකර වෙළෙඳ ශේෂයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවත්, ලිබරල් ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්තිය වේගවත් කිරීම සහ ආයෝජන ආකර්ෂණය වැඩි කර ගැනීම අරමුණු කර ගෙන එහිදී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

තමා අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ ගත් පියවර මත පදනම්ව දමිළ ජනයා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ ප්‍රගතිය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කිරීම, ත්‍රස්තවාදයට එරෙහි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සම්මත කරගැනීම ඇතුළු තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ තිබීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදි අදහස් පළ කළේය.

ත්‍රස්තවාදය නිර්වචනය කර ඇති ආකාරය සම්බන්ධව රජය සහ විපක්ෂය අතර පැවති මතභේද අධිකරණ තීන්දුවක් මගින් නිරාකරණය කර ඇති බවත්, එමෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්වල ඉඩම් සම්බන්ධ පවත්නා ගැටලු විසඳීමට ද රජය කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රශ්නය

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ පීඩාකාරී තත්ත්වය මෙන්ම අභියෝග පිළිබඳ මම කියවා තිබෙනවා. ශ්‍රී ලංකාව වත්මනයෙහි මුහුණ දෙමින් තිබෙන ගැටලු විසඳීමට ඔබ විසින් ගනු ලබන පියවර පිළිබඳව ලෝකය විමසිලිමත්ව බලා සිටිනවා ?

පිළිතුර

පසුගිය වසරේ මැයි, ජූලි මාසවලදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබූ දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ඔබ සියලුදෙනා දන්නවා. ඒ වන විට රටේ නායකත්වය භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුයේ නැහැ.

2019 ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපති අපේක්ෂකයා බවට ප්‍රකාශ කිරීමට මට සිදු වුණා. ඒනිසා 2019 ජනාධිපතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක්. වෙනස්ම ජනතාවාදී ප්‍රවේශයක් ජනතාවට අවශ්‍යව තිබුණා.

නමුත් ඔහු ඉතා දරුණු පරාජයක් අත්කරගත්තා. කොවිඩ් වසංගතයට රට ගොදුරු වීමත් සමඟම 2020 අගෝස්තු මාසයේ අපි මැතිවරණයට ගියා. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සමඟ අපි සිටිය යුතුයි කියන ස්ථාවරයේ මම හිටියා.

2016 දී අප ආරම්භ කළ වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව ප්‍රාථමික අතිරික්තය සඳහා කැපවි යුතු අතර, සහනාධාර ලබාදීම් අඩු කිරීමට අවශ්‍යව තිබුණා. මෙය ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව 2018 ජූනි වන විට අපට ඩොලර් මිලියන 300ක මූලික සේවාවක් තිබුණා. එය ස්වල්පයක් පමණක් වුවත් අපට එය වර්ධනය කරගැනීමට හැකියාවක් තිබුණා.

නව රජය බලයට පැමිණීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි ගිවිසුම යළිත් ක්‍රියාවට නැංවීමෙන් තව ඩොලර් බිලියන 5ක් පමණ රැස් කරගැනීමට හැකියාවක් තිබුණා.

මම අග්‍රාමාත්‍ය ධූරය දැරූ කාල වකවානුවේදී, ජපානය, ඉන්දියාව මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර බිලියන තුන හතරක් විතර වටිනා ව්‍යාපෘති රටට ලබාගත්තා. නමුත් ඒ සියල්ලම පසුගිය රජය විසින් අවලංගු කර දැමුවා.

පසුගිය වසරේ මැයි 9 වැනිදා රට තුළ දැඩි කැලඹීමක් ඇති වුණා. ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරුන් 65 දෙනෙකුගේ නිවාස ගිනිබත් කිරීමත් සමඟම එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා.

එදින රාත්‍රියේ මම ආණ්‌ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සමඟ සාකච්ඡා කරමින් සිටියදී මම ඇහුවා මට කරන්න පුළුවන් උදව් මොනවද කියලා. පසුදිනම, ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාට කතා කර අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස දැනුම් දී තිබුණා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහ ලෝක බැංකුවට යන ලෙස මා එවකට සිටි ජනාධිපතිවරයාට උපදෙස් දුන්නා. ඒ නිසා ආණ්‌ඩුව මට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස බලකර සිටියා. මාව අගමැතිවරයා ලෙස පත් කර ගනිමින් ධුරයේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් ඔවුන් පැවසුවා. ඒ වගේම ඔබතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න, අපි සහාය ලබාදෙනවා කියා ඔවුන් මට පැවසුවා.

ඒ වන විටත් අපේ පසුගිය වසරේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් පමණ වී තිබුණා. 2022 අප්‍රේල් වන විටත් අපි බංකොලොත් රටක් බව ප්‍රකාශ කර තිබුණා. අපි යථා තත්ත්වයට පත්වෙමින් සිටින විට උද්ඝෝෂකයින් යළිත් වීදි බසින්නට පටන් ගත්තා. ඒ වගේම ජූලි 9 වෙනිදා විශාල පිරිසක් කොළඹට ඇවිත් සිටියා.

උද්ඝෝෂකයින් ජනාධිපති නිල නිවසට කඩා වැදුණා. ජනාධිපතිවරයාට හොර රහසේ වරායට පරිශ්‍රයට ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවකට නගිමින් ඔවුන්ගේ සහාය පැතීමට සිදු වුණා. එදා සවස පක්ෂ නායකයෝ රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියා ප්‍රකාශ කළා. ඒ වගේම මම වැඩ බලන ජනාධිපතිවරයා විය යුතුයි කියන අදහසත් ඒ සමඟම ආවා.

නමුත් එදා විපක්ෂය කිව්වා මමත් ඉල්ලා අස්විය යුතුයි කියලා. ව්‍යවස්ථානුකුලව අග්‍රමාත්‍ය ධූරය සඳහා අයෙකු සොයාගන්නා ලෙසත්, එවිට මට ඉල්ලා අස්විය හැකි බවටත් මම විපක්ෂයේ පාර්ශ්වයන්ට පැවසුවා. ඒ අතරතුර, කිසියම් මාධ්‍යයක ඉල්ලීම් හෝ බලපෑම් පරිදි උද්ඝෝෂකයින් පිරිසක් පැමිණ මගේ නිවසට ගිනි තැබුවා. ඔවුන් හිතුවේ මම ධූරයෙන් ඉවත් වෙයි කියලා. මේ අතර පසු දින ඇතැම් තානාපතිවරුත් මට ඉල්ලා අස්වෙන ලෙස දන්වා සිටියා.

නමුත් ඇතැමුන් කථානායකවරයාට වැඩබලන ජනාධිපති ධූරය භාරගන්නා ලෙස යෝජනා කළා. කෙසේ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප වුණා. නමුත් මම මගේ ස්ථාවරයේ සිටිමින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළා. ඒ වන විට ජනාධිපතිවරයා රටින් පිටමං කර, පසුව මාලදිවයිනට රැගෙන ගොස් තිබුණා.

මම කැබිනට් රැස්වීමක් පැවැත්තුවා. අනතුරුව උද්ඝෝෂකයෝ තීරණය කර තිබුණා අගමැති කාර්යාලය අත්පත්කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවත් අත්පත්කරගත යුතුයි කියලා. ඊට දවස් දෙකකට පසුව පැය පහක් හයක් පමණ අගමැති කාර්යාලයෙන් පිටත ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

ඔවුන්ට වෙඩි තැබීමට නියෝග කිරීමට මට අවශ්‍ය වුණේ නැහැ. ඉතින් අන්තිමට ඔවුන් අගමැති කාර්යාලයටත් කඩා වැදුණා. පසුව, පා ගමනින් පාර්ලිමේන්තුවට පැමිණෙමින්, පස්වරුව වන විට තවත් පාර්ලිමේන්තු සැසිවාර නොපැවැත්විය යුතු බවත් ඔවුන් දන්වා සිටියා. විපක්ෂ නායකවරයා ද එම කටයුතුවලට සහාය දැක්වූවා. පාර්ලිමේන්තුව මෙලෙස පවත්වාගෙන යා නොහැකි අතර එය ආරක්ෂා කරගත යුතු බව මම හමුදාපතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව ඔවුන් සතුව සිටී ශ්‍රී ලංකාවේ හොඳම හමුදා බලඇණිය නිරායුධව එහි ස්ථානගත කළ අතර, ඔවුන් එහිදී සාර්ථකව උද්ඝෝෂකයින් විසුරුවා හරිනු ලැබුවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී සෙබළුන් 24 දෙනෙක් තුවාල ලැබුවා.

එම අවස්ථාව වන විට මම තීරණය කළා මම ජනාධිපති ධූරයේ වැඩ භාරගතයුතු කියලා. ජනාධිපතිතුමා ඉල්ලා අස්වීම එවා තිබුණේ මට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න කියන ඉල්ලීම කරමින්, නමුත් ඒ වන විට ජනාධිපති කාර්යාලය අත්පත් කරගෙන සිටි පිරිස මම වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙනවාට කැමති වුණේ නැහැ.

වැඩබලන ජනාධිපති ලෙස ධූරය භාරගැනීම සඳහා මට පාර්ලිමේන්තුව භාවිතා කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මම අගවිනිසුරුවරයාගේ නිවස භාවිතා කළේද නැහැ. මම උදේ පාන්දරම මගේ නිවස අසළ පිහිටි පවුලේ පන්සලට ගියා. අගවිනිසුරුතුමා එතැනට පැමිණියා. පන්සලේ හාමුදුරුවෝ එහි ආරක්ෂාව ඉවත් කිරීමට උපදෙස් දී තිබුණා, පන්සල තුළ මගේ දිවුරුම් දීම ඡායාරූපගත කළා.

මීළඟට සිදු කිරීමට තිබුණේ පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමයි. ඒ සම්බන්ධවත් විරෝධතා මතු වුණා. එවිට මම කිව්වා විරෝධතා පැවැත්වීමට ඉඩ දිය යුතුයි කියලා. නමුත් ඒවා විරෝධතා නොවෙයි. එම විරෝධතාවන් සිදු කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීමට බව මම ප්‍රකාශ කළා.

ඒ වගේම විරෝධතාකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා. නමුත් අත්අඩංගුවට ගත් සියලුදෙනාව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් විසින් නිදහස් කළා. එක විරෝධතාකරුවෙකුවත් සිරගත කළේ නැහැ. අනෙක තමයි නීතිඥ සංගමයේ සභාපතිවරයා ඔවුන් සමඟ සිටීම නිසා ඔවුන්ට එය දිරිගැන්වීමක් වුණා.

පාර්ලිමේන්තුවට පහර දෙන විට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීම මගින් දෙතුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිදුවුණා. හමුදාව ඇතුළට යවා අගමැති කාර්යාලයේ පාලනය නැවත ලබා ගැනීමේ ක්‍රමය සොයා බලන ලෙස මම උපදෙස් දුන්නා. ඉන් පසුව ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය රජයේ පාලනයට නතු කරගන්නා ලෙස අප උපදෙස් දුන්නා.

රාජපක්ෂවරුන් නායකත්වය ලබා දුන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේද සහාය මට තිබීම නිසා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම ඉතා සුවිශේෂී එකක් වුණා. ඔවුන්ට ද අවශ්‍ය තිබුණේ මාව එම මැතිවරණයට ඉදිරිපත් කිරීමට. මම ඡන්ද 135කින් ජයග්‍රහණය කළා.

එම නිසා රට යථා තත්වයට පත් කිරීමේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වුණා. ව්‍යාපාරිකයින්, පෞද්ගලික සමාගම් හිමිකරුවන් , ග්‍රාමීය ජනතාව ඇතුළු සියලුදෙනා මේ දෙස නිහඩවම බලා සිටිමින්, රට තුළ නීතිය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍ය සහාය ලබා දෙමින් ඒ පිළිබඳ ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළා. ඔවුන් මා වෙනුවෙන් නොසිටි නමුත් රට තුළ නීතිය හා සාමය යළි ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙළ සමඟ පෙනී සිටියා.

ඉතින් රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමෙන් පසු, ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මම පූර්ණ අවධානය යොමු කළා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාවල නිතර වුණා.

මෙම සැප්තැම්බර් මාසයෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තීරණයකට පැමිණීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය පිළිබඳව පාර්ලිමේන්තුව අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම රටේ සම්පූර්ණයෙන්ම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙනවා.
ලිබරල්වාදී ලිහිල් ආර්ථික ක්‍රමවේදයක් හරහා වැඩි ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අප කඩිනමින් සිදුකළ යුතුව තිබෙනවා. ඒ වගේම දිගු කාලීනව, වාසිදායක ලෙස වෙළෙඳ ශේෂය ඉහළ නංවාගැනීමට ආයෝජන අවශ්‍යයි . 2024 වන විට මෙම කටයුතුවල විශාල ප්‍රගතියක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය

ආර්ථික අර්බුද පොදුවේ සියලු රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයක්. ඒ වගේම එය පොදු අභියෝගයක්. මීට දිගුකාලීන විසඳුමක් ලෙස දැකිය හැක්කේ පෞද්ගලික අංශයේ දායකත්වයයි.

පිළිතුර

දැනට තිබෙන විකල්පය වන්නේ වෙළෙඳ පොළ ඉලක්ක කරගත් උපාය මාර්ගික ක්‍රමවේදයක්. මම අවංකවම විශ්වාස කරන්නේ මේ හැර වෙනත් කිසිදු විකල්පයක් නැහැ. බොහෝ කලක සිට වෙළෙඳපොළ ආර්ථිකය විසින් තමයි මෙම ගැටලු විසඳා තිබෙන්නේ.

ප්‍රශ්නය

ප්‍රජාතන්ත්‍රවාදය හැර අනෙකුත් සියලුම පාලන ක්‍රමයන් භයානක බව වින්ස්ටන් චර්චිල් වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. ආර්ථිකය වර්ධනය කිරීමට ඇති එකම මාර්ගය කොන්සර්වේටිව්වාදය බව අවසානයේ අවබෝධ කර ගන්නා තුරු සමාජවාදය, ආරක්ෂණවාදය, සංගතවාදය, ජනප්‍රියවාදය අනුගමනය කිරීමට උත්සාහ දැරීම අපට නිරන්තරයෙන් දැකගැනීමට හැකිවන දෙයක්.

එහිදී, ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවන්හි අනාගතය ඔබ දකින්නේ කෙසේද? එහි උපායමාර්ගික සබඳතා මොනවාද සහ ඊළඟට මුහුණ දෙන අවදානම් තත්ත්වයන් මොනවාද?

පිළිතුර

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සබඳතා ප්‍රධාන වශයෙන් ස්ථාපිත වී තිබෙන්නේ දකුණු ආසියානු කලාපය මූල් කරගෙනයි. ප්‍රධාන වශයෙන් ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, ජපානය, මැදපෙරදිග, සහ විශේෂයෙන්ම චීනය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ඇතුළු, යුරෝපය සමඟ ද සබඳතා පුළුල් කර ගැනීමට අප කටයුතු කරනවා.

ප්‍රශ්නය

තරගකාරී වෙළඳපොළ පීඩනයන්, කොවිඩ් වසංගතය, විශේෂයෙන්ම වත්මන් යුක්‍රේන යුදමය තත්ත්වය යනාදී කරුණු නිසා එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් මෙන්ම චීනය සහ එහි මිත්‍ර රටවල් අතර සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය ධ්‍රැවීකරණයක් නැත්නම් ගැටුම්කාරී තත්ත්වයක් අපට දැකගන්න පුළුවන්.ආර්ථික වර්ධනයේදී ඔබ ශ්‍රී ලංකාව ස්ථානගත කරන්නේ කොතැනද? ලංකාවට හිමි තැන කුමක්ද ? එමෙන්ම, ඔබ ඒ සඳහා මොනවගේ ක්‍රියාමාර්ගයන්ද අනුගමනය කරන්නේ ?

පිළිතුර

මූලික වශයෙන්, අපි ගෝලීය දකුණේ සහ ආසියාවේ ස්ථාවරය සමඟ සිටිනවා. එක්සත් ජනපදය හා චීනය යන ලෝක බලවතුන් දෙදෙනාම අපට අවශ්‍යයි.
ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් රටවල ඉදිරි දැක්ම යන කරුණ සැලකිල්ලට ගැනීමේදී පැසිෆික් සහ අනෙකුත් කරුණු අතිශයින්ම වැදගත්. චීනයේ නැගීම, කලාපයේ රටවල දියුණුව සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. එබැවින් චීනයේ ආර්ථික සංවර්ධනය අපට ඉතා වැදගත්. ඉන්දියාව සහ ආසියාන් කලාපිය රටවල්වල මෙන්ම මැදපෙරදිග අඛණ්ඩ තිරසාර වර්ධනයක් දැකීමට තවත් වසර 20 – 25 ක් වත් ගතවනු ඇතියි. බහුපාර්ශ්වීය සබඳතා ශක්තිමත්ව ස්ථාපිත කරන අතර, පවත්නා ද්විපාර්ශ්වීය ශ්‍රී ලංකා එක්සත් ජනපද සබඳතා අගය කරනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නෙවෙයි වැදගත් වන්නේ. අපි ආරම්භයේ සිටම එක්සත් ජනපදයට සහාය ලබා දුන්නා. ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා ඉන්දියන් සාගරයේ රිම් සංගමය (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සහාය වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
නමුත් අපි නාවුක කටයුතුවල නිදහස වෙනුවෙන් ද පෙනී සිටිනවා. ඒවගේම විසඳාගත යුතු ප්‍රශ්න තිබෙනවා. ඒවා අප සාමුහිකව විසඳාගත යුතුයි. සියල්ල එක බලවතෙකුගේ ආධිපත්‍යයට නතු කර ගැනීමෙන් එය කළ නොහැකියි. මිත්‍රශීලිව සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, අර්බුධකාරී තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය

නිතරම ඇහෙන දෙයක් තමයි ඇමරිකාව අපේ ආරක්ෂාවට වැදගත් කියන එක. ඒ වගේම චීනයේ සහයෝගය අපේ ආර්ථිකයට තීරණාත්මකයි. චීන ආයෝජන මෙන්ම චීන ව්‍යාපාර ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත්. අනෙක් අතට, මා දකින පරිදි, චීනයට ඇති විශාල බැඳීම් ගැටලුවක් ලෙස තිබෙනවා ?

පිළිතුර

පුද්ගලික අංශ ආයෝජකයන්ගෙන් විශාලතම ආයෝජකයා වන චීනය විශාලතම ද්විපාර්ශ්වික ණය ලබාදෙන රටක් වෙනවා. අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හසුරුවන්නේ කෙසේ දැයි චීනය දෙගිඩියාවෙන් සිටියේ.

අපට පැරිස් සමාජය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඉන්දියාව සහ චීනය පිටත සිට එය නිරීක්ෂණය කළා. කොහොම නමුත්, ඉන්දියාව පසුව පැරිස් සමාජයේ අදහසට එකතු වුණා.

ඉන්දු-චීන පොදු වේදිකාවක් පිළිබඳ හමුවේදී යෝජනා කළ නියෝජිතායතනය සමඟ අපි ඒ පිලිබඳ සාකච්ඡා කළා. නමුත්, චීනය පොදු වේදිකාවේ රැස්වීමේ නිරීක්ෂකයෙකු ලෙස පමණක් සහභාගී වී සිටියා. ඒ වගේම ඔවුන් අප සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බව කියා සිටියා. නමුත් අපට වඩා ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම පිළිබඳව උනන්දුවක් දැක්වුවා.සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු පාර්ශ්වකරුවන් ක්‍රියාකාරීව තබා ගන්නවා. ඒ වගේම අපි හැම පාර්ශ්වයක්ම දැනුවත් කරනවා. ඒ වගේම චීනය ඇතුළු අනෙකුත් බලවතුන් ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටිනවා.

ප්‍රශ්නය

ඔබේ රට යුක්‍රේනය සහ රුසියාව යන රටවල් දෙකම සමඟ වැදගත් වෙළඳ සබඳතා පවත්වා තිබෙනවා. මතුව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

පිළිතුර

ගෝලීය දකුණේ බොහෝ රටවල් හුදෙක් පිටත සිට බලා සිටිනවා. ආසියාන් රටවල් යම් ක්‍රියාකාරී වැඩකොටසක් ඉටු කරන අතර, ඔවුන්ගෙන් බහුතරය මධ්‍යස්ත ක්‍රමවේදයක් අනුගමනය කරනවා.

අපට අවශ්‍ය වන්නේ ගැටුම් සමථයකට පත් කර ගැනීමත්, ගැටුම පුළුල් නොවන බවට සහතික කර ගැනීමයි. යුරෝපයේ ආරම්භ වී තිබෙන්නේ යුධමය තත්ත්වයක්. එනිසා අපි බලාපොරොත්තු වන්නේ නිදහස් සාමකාමී ස්වෛරී යුක්‍රේනයක් පමණයි. එය අප විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන අතර අවසානයේ මෙය විසඳිය හැක්කේ රුසියාවට පමණක් බව අප විශ්වාස කරනවා. එය තමයි සත්‍ය තත්ත්වය.

ජනාධිපති රම්පෝසාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් රුසියාව සහ යුක්‍රේනය බලා පිටත්වුණා, අපි මෙම යුද්ධයේ අවසානය දකින්න කැමතියි. මෙම අස්ථාවර තත්ත්වය අප්‍රිකානු රටවලට මෙන්ම අපටද දැඩි ලෙස බලපාමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ හේතුවෙන් ඉන්ධන සහ ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ප්‍රශ්නය

ඔබ යුද්ධය ගැන කතා කර තිබෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් තිබුණා. අපි කවුරුත් දන්නවා මින් පෙර තිබූ ගැටලු සහ ඒ පිළිබඳ එවකට රජයන් කටයුතු කළ ආකාරය. නමුත් ඔබ රට තුළ සංහිඳියාව ස්ථාපිත කරන්නේ කෙසේද කියා කියන්න පුළුවන්ද ?

පිළිතුර

මම අග්‍රාමාත්‍යවරයාව සිටියදී එම ක්‍රියාවලිය ආරම්භ කළ නිසා මම අවසන් කළ තැනින් ඉදිරියට යනවා. මම දමිළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරනවා. අපි බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිළිබඳ නීති කෙටුම්පත් කර තිබෙනවා. නව ත්‍රස්ත මර්දන නීතිය පිළිබඳව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව සහ විපක්ෂය අතර ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබූ අතර ඉන් දෙකක් විසඳාගැනීමට හැකිවුණා. තුන්වන ප්‍රශ්නය නම්, ත්‍රස්තවාදය නිර්වචනය කර ඇති ආකාරය සම්බන්ධවයි. එහිදීඔවුන් මගේ මතය විමසුවා. මම කිව්වා උසාවියෙන් තීන්දුවක් ගන්න අපි එම තීන්දුව අනුව කටයුතු කරනවා කියලා. මේ වන විට එය අධිකරණය විසින් විසඳීමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේම උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. දැන් ඉඩම් ප්‍රශ්නය සමථයකට පත් වී තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු සාර්ථකව සිදුවෙමින් තිබෙනවා.

 

Previous articleනිර්වින්දන බෙහෙත් ළමයින් සදහා භාවිතා කළේ නෑ – සෞඛ්‍ය ඇමති කියයි
Next articleකුලියාපිටියේ අයවැය ක්‍රියාත්මක කිරීම අර්බුදයක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here