Home අද ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂකගෙන් ජනාධිපතිට ලිපියක්

ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂකගෙන් ජනාධිපතිට ලිපියක්

654
0

ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර තිබෙනවා.

ඒ, ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි මාසයේ සිට බලාත්මක වන අතර, එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුව මෙන්ම එක්සත් ජාතීන්ගේ 2023-2027 සඳහා වන තිරසාර සංවර්ධන සහයෝගීතා ප්‍රතිපත්ති රාමුව
(UNSDCF) සමඟද අනුකූල වන බැවිනි.

රෝමයේ සිටින ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් එම්. බීස්ලි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, ලෝක ආහාර අරමුදලෙහි දෙවන නිත්‍ය සැසිවාරයේදී විධායක මණ්ඩලය මෙම අනුමැතිය ලබාදුන් බවයි.

මෙම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 02 ට අනුකූලව මෙරට ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2030 වන විට සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කර තිබේ.

එසේම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 1,5,10 සහ 13 ශක්තිමත් කිරීම මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 17 ට අනුව ජාතික මානුෂීය සහ සංවර්ධන ප්‍රතිචාර හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහාත් මෙම උපායමාර්ගික සැලසුම ඉවහල් වෙයි.

තවද, ආහාර සුරක්ෂිතතාව සහ ඉහළ පෝෂණය අත්පත් කර ගැනීම සහ 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නය ලෝක ආහාර වැඩසටහනේ ඇගයීමට ලක්ව තිබේ.

එහිදී කෙටි කාලීන ආහාර ආධාර ලබාදීම සහ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය ඉහළ දැමීම සුරක්ෂිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ අවධානමට ලක්වූ ජනකොටස් ප්‍රමාණාත්මකව අඩු කිරීම සඳහා හැකියාව ලබාදීම තුලින් ශ්‍රී ලංකාවට සහය වන බවත් සඳහන් කර ඇත.

එසේම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා රජයේ ආයෝජන ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහය සහ ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදෙන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම ලෝක ආහාර වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සඳහා සම්පත් දායකත්වය ලබාදෙන්නේ ස්වේච්ජාවෙනි. එබැවින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම් සඳහා ලබාදෙන ආධාර, ආධාරකරුවන් ලෝක ආහාර වැඩසටහනට ලබාදෙන්නාවු දායකත්වය මත රඳා පවතී.

Previous articleසහල් ආනයනය තහනම්  – භාණ්ඩ මිල අඩුවේ
Next articleමෙසී පාපන්දු පිටියට සමුදෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here