Home අද අර්බුදය උඩු දුවන්න දුන්නේ බැසිල්ට ජනාධිපති වෙන්න – ගම්මන්පිල

අර්බුදය උඩු දුවන්න දුන්නේ බැසිල්ට ජනාධිපති වෙන්න – ගම්මන්පිල

697
0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමන්ට ජනාධිපතිධූරය ලබා ගැනීමට හැකි යැයි විශ්වාස කළ බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා උපකාරී වන අයුරින් රටේ ආර්ථික අර්බුදය උඩුදුවන තුරු බලා සිටි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ ගාලු දිසා සමුළුව 29දා අමතමිණි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.

“මේ අර්බුදය එන බව අපි මුලින්ම අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර්බර් මාසයේ 26 වෙනිදා. කවුරුවත් කනකටවත් ගත්තේ නැහැ මෙවැනි අර්බුදයක් එනවා කියලා. මේ ගැන ඇතුලේ කතා කරලා, කතා කරලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11 ක්ම දාලාත් මුකුත් නොකර බලන් ඉන්නවා දැක්කම අවසානයේ තීරණය කළා මාධ්‍ය හමුවක් තියලා 2021 ජුනි මාසයේ 12 වෙනි දා රටට කියන්න අපි අර්බුදයක පාමුල ඉන්නේ කියලා.

එතකොට ආණ්ඩුවේ අනික් අමාත්‍යවරු දාලා බැසිල් උන්නැහේ කියන්න හැදුවේ මොකක්ද. අපිට ඇති තරම් සල්ලි තියෙනවා. අපිට ඇති තරම් ඩොලර් ද තියනවා . ගම්මන්පිල බොරු බිල්ලො මවනවා. ඒ අය මේ අර්බුදය එන බව දනිමින් අර්බුදය එනවා කියලා අප ඇඟට ඇනලා කියද්දි අර්බුදය ඇති වෙන්න ඉඩ දීලා නිහඩව බලා හිටියේ. ඒ වගේම අර්බූදය වැඩි වෙන්න පාර කැපුවා.

මිත්‍රවරුනි අපි තමුන්නාන්සේලා හැමෝම දන්න දෙයක් තමයි බැසිල් රාජපක්ෂට මේ ආත්මයට ඡන්දයක් දිනලා නම් ජනාධිපති වෙන්න බැහැ. සතා කවුද කියන එක රටේ ජනතාව දන්නවා. ජනතාව කවදාවත් එයාට නම් රට බාර දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් එක පාරට මුළු රටම කීයකට හරි ඇමරිකාවට විකුණලා දාලා එයා ඇමරිකාවේ යයි.

ඒ අනතුර මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා එයා දැනගෙන හිටියා එයාගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගත හැක්කේ ජනාධිපති වෙන කෙනා අතරමැද පලා යාමෙන් පමණයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දාල ගියොත් ඊළඟ ජනාධිපති තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ බැසිල්ගේ සිග්නල් කණු වෙලා ඉන්න බැසිල් කියන කියන විදිහට අත ඔසවන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට. එනිසා ගෝඨාභය දාල ගියොත් ජනාධිපති වෙන්න මට පුළුවන් කියන උපක්‍රමය තුළ තමයි බැසිල් රාජපක්ෂ මේ අර්බුදය තීව්‍ර කළේ.

මොකද අපට වඩා හොඳට ගෝඨා අයියා ගැන දන්නෙ බැසිල්. එයා දන්නවා ගෝඨා අයියට ලොකු පීඩනයක් ආවොත් දමලා ගහලා යනවා. ගෝටා අයියා දමලා ගහලා ගියොත් පාර්ලිමේන්තුව මීළඟට තෝරගන්නේ මාවයි කියන සිහිනේ තමයි බැසිල් රාජපක්ෂ හිටියේ. ඒ නිසා තමයි රසායනික පොහොර තහනම ආවම අපි ඒකට විරුද්ධව සටන් කරද්දී ජනාධිපති වරයාගේ තීන්දුවට ඉඩ දිය යුතුයි කියලා ආණ්ඩුව තුළ සටන් කළේ බැසිල්.

මන්ත්‍රීවරයා මෙලෙස උත්තර ලංකා සභාගයේ පැවති හමුවේදී අදහස් දක්වමින් කියා සිටියත් පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දැරුවේ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මතයකි.

ගෝඨාභය රාජපක්ෂ යනු මනා පෞර්ෂයකින් යුතු පුද්ගලයකු බවත් ඍජු තීරණ ගත හැකි පුද්ගලයකු බවත් ඔහු රට පුරා වේදිකා වල කියමින් ගිය ඔහු දැන් මෙලෙස පවසන්නේ කුමක් අරමුණු කරගනිමින්ද යන්න ගැටලුවකි.

විශාල පීඩනයක් පැමිණියහොත් ගෝඨාභය රාජපක්ෂ සියල්ල අත්හැර යන බව බැසිල් රාජපක්ෂ දැනසිටි බව දන්නා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයාව ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වැනි නායකින් සමඟ සන්සන්ධනය කළේ එය නොදැන සිටි නිසාද එසේත් නොමැතිනම් ජනතාව අන්දවීමටද යන්න බරපතල ගැටලුවකි.

එවැනි පුද්ගලයකු දේශපාලන වේදිකාවේ තමන්ගේ මතය වෙනස් කරමින් මෙලෙස වෙනස් වන්නේනම් ජනතාව ලෙස අප තවත් මොවුන්ව විශ්වාස කලයුතුද යන්න අප අපෙන්ම ඇසිය යුතුය.

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කියා කීය

තෙල් ගෑස් විදේශ විනිමය අර්බූදයන් ගැන අපි කියද්දී ඒවාට නිසි පිළියම් යොදන්නේ නැතුව මුදල් අමාත්‍යාංශයට වෙලා නිදි කිරලා පැය14 ක් විදුලිය කපන කන් බලා හිටියා. අපේ රටේ ජනතා ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ දවස් ගණන් ලගින කම් බලා හිටියා. මෙන්න මෙහෙම දුක් විඳින්න සිදු උනාම ජනතාවගේ ඉවසීමේ රතු කට්ට පැනලා බැසිල්ට අවශ්‍ය විදිහටම ජනතාව පාරට බැස්සා. ජනතාව පාරට බැහැලා ටිකක් දවස් යද්දි බැසිල් හිත විදියටම ගෝටා අයියා දමල ගහල යන්න ගියා. නමුත් බැසිල්ට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි වුණා.

එයා මුලින්ම දැන ගත්තා විමල්-උදය අමාත්‍ය මන්ඩලයේ හිටියොත් මට මගේ ගමන යන්න වෙන්නේ නැහැ කියලා. අපි ඇඟිල්ලෙන් ඇන ඇන කිව්වා ආර්ථික අර්බුදය එනවා මුදල් ඇමති මුකුත් නොකරන්නේ ඇයි කියලා. එය අපි මුලින් අමාත්‍ය මණ්ඩලයේ කිව්වා. ඉන් අනතුරුව රටටත් කිව්වා. මේ කරදර කාරයොත් එක්ක මගේ ගේම ගහගන්න බැහැ කියලා අපිව අමාත්‍යමණ්ඩල යෙන් එළියට දැම්මා. අපි නිකන් හිටියෙ නැහැ. අපි මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා බැසිල්ගේ කුමන්ත්‍රණය උදේ ඉදන් රෑ වෙනකම් ම කියලා කියලා බැසිල් බලාපොරොත්තු නොවූ ආකාරයකට අපට පුළුවන් වුණා බැසිල්ගේ අයියා ලවාම බැසිල්ව අස් කරවා ගන්න.

මට මහාචාර්ය ජී. එල් පීරිස් හිටපු ඇමැතිතුමා කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා දවසක් එයාත් එක්ක කිව්වලු මාව අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය අයියට මම මරණ මංචකයේ වත් සමාව දෙන්නේ නෑ කියලා. මොකද ඔහුගේ සියලු කුමන්ත්‍රණ වතුරේ ගියේ හදිසියෙ බැසිල්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරපු නිසා. ජනාධිපති සිහිනයට වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට සිද්ධ වුණේ තිබුණු ඇමතිකමත් මන්ත්‍රීකමත් දෙකම නැති කරගෙන ඇමරිකාවට පලා යන්න. ඔන්න මේ දවස් වල හා ආපහු ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ රටේ ජනතාව බුද්ධිමත් නිසා ඒ පාරේ දැන් යන්නේ නැහැ.”

Previous articleඋද්ධමනය අඩුවෙයි
Next articleගුරුවරුන්  විෂය අනුව ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here