Home අද ප්‍රජාතන්ත්‍රවාදයේ සුජාත බවේ මුල මැද අග සිහිකර : කරූ ජනපති අමතයි !

ප්‍රජාතන්ත්‍රවාදයේ සුජාත බවේ මුල මැද අග සිහිකර : කරූ ජනපති අමතයි !

39
0

කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂයට නොදීමට අද වනවිට ද කිසිදු හේතුවක් නැති බවත් රටේ මහජනතාව බලාපොරොත්තු වන ආකාරයට රජයේ කටයුතු නිසි පරිදි සිදුවේ නම් එම විශ්වාසය තහවුරු වන බව නිසැක බවත් අවධාරණය කරමින් සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරය ලිපියක් යොමුකරමින් ජනාධිපති අනුර දිසානායක වෙත අවධාරණය කර තිබේ.

එහිදී කෝප් සභාපති ලෙස 2015- 2020 පාලන සමයේදී වත්මන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ කාර්‍යභාරයද සිහිපත් කර ඇත.

සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි අනුශාසක , හිටපු කතානායක කරූ ජයසූරිය විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.
එහිදී ආංශික අධීක්ෂණ කාරක සභා තුළින් ද  රටේ යහපත උදෙසා විශාල පිටුවහලක් ලැබුණු බව, සෑම පක්ෂයකට අයත් මන්ත්‍රීවරුන්ගේ නියෝජනය එහිදී ද සහතික වූ බවද සඳහන් කර ඇත.

එහෙත් අවාසනාවකට 2/3 බලය ලබාගත් 09වන පාර්ලිමේන්තුවේ දී මේ සියලුම සම්ප්‍රදායයන්, ආංශික අධීක්ෂණ කාරක සභා ද ඇතුළුව හිතාමතා අහෝසි කරන ලද බවත් පොදු විපක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ද සමග මෙම ක්‍රියාදාමයට විරුද්ධව පෙනී සිටි බවත් එකී ලිපියේ සිහිපත් කර තිබේ .

එනමුත් 21වන සංශෝධනය 2023 වසරේ ගෙන ඒමෙන් පසු මෙම ආයතන සුළු කාල සීමාවකට හෝ නැවතත් ක්‍රියාත්මක වූ බව අවධාරණය කරන එම ලිපිය , ඉතාමත්ම සාර්ථකව දියත් වූ ආංශික අධීක්ෂණ කාරක සභා ගැන මේ වනවිට නැවත අධ්‍යයනයක් කෙරෙන බවට ද වාර්තා වී ඇති බවත් , ඊට අනුව ආංශික අධීක්ෂණ සභාව වෙනුවට වෙනත් ආකෘතියක් හඳුන්වා දීමට කටයුතු කලහොත් ඒ තුළ විශාල ගැටලු පැන නැගීමට ද ඉඩ ඇති බවත් පෙන්වාදී තිබේ.

මේ අදහස් දක්වමින් සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි අනුශාසක හිටපු කතානායක කරූ ජයසූරිය විසින් ජනාධිපති අනුර දිසානායක වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි .

 

2024.12.09,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

ජනතා විමුක්ති පෙරමුණ ද රටේ සිවිල් සමාජය හා පොදු විපක්ෂ බලවේග සමග එකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගොඩනගා ගත් ආයතන හා සංකල්ප ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත කෙරෙන ආයාචනයයි.

නිදහසින් පසු ගෙවුණ අතීතය තුළ රටක් වශයෙන් අපට ආඩම්බර විය හැකි ප්‍රමඛ අංශයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පිහිටා වර්ධනය කරගත් භාවිත ආරක්ෂා කර ගැනීමට අප දක්වා ඇති කැපවීම ය.

නොයෙකුත් පසුබැසීම් අතරේ වුවද අප එය ආරක්ෂා කරගෙන ඇත්තෙමු. ප්‍රජාතන්ත්‍රවාදී යහ පැවැත්ම තුළ රටේ අනාගත යහපත උදෙසා එම ප්‍රතිපත්ති තවදුරටත් ආරක්ෂා කරගනිමින් වර්ධනය කරනු ඇතැයි නව රජයෙන් අපි අපේක්ෂා කරන්නෙමු.
 
ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ගරු කරන රාජ්‍ය පාලනයන්හි විපක්ෂයට ද විශාල අධීක්ෂණ වගකීමක් පැවරේ. ඒ අනුව අටවන පාර්ලිමේන්තුවේ දී 2015-2020 සැසිය තුළ එකී මූලධර්මවලට ගරු කරමින් විපක්ෂයට එම වගකීම පැවරිණි. ඒ අනුව කෝප්, කෝපා, මුදල් කාරක සභා යනාදි අධීක්ෂණ කාරක සභා තුළින් වැදගත් කාර්යභාරයක් ඉටු කෙරිණි. එම වගකීම පැවරුණේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ය. එහි දී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කෝප් කමිටු සභාපති වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකළ බව සිහි කළ යුතුය. ඔහු සභාපතිත්වය දැරුව ද කමිටුවේ වැඩි බලය පාලක පක්ෂයට හිමි විය.

සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයකු හෙබවීමෙන් රජයේ කටයුතු කිරීමේ දී කිසිම බාධාවක් සිදු නොවන බවට එය මනා නිදසුනකි. එම නිසා අනිසි බියක් ඇතිකර ගැනීම සාධාරණ නොවේ. කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂයට නොදීමට අද වනවිට ද කිසිදු හේතුවක් නැතැයි අප දැඩිව විශ්වාස කරමු. රටේ මහජනතාව බලාපොරොත්තු වන ආකාරයට රජයේ කටයුතු නිසි පරිදි සිදුවේ නම් එම විශ්වාසය තහවුරු වන බව නිසැක ය. එමෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභා තුළින් ද  රටේ යහපත උදෙසා විශාල පිටුවහලක් ලැබිණි. සෑම පක්ෂයකට අයත් මන්ත්‍රීවරුන්ගේ නියෝජනය එහිදී ද සහතික විය. එහෙත් අවාසනාවකට 2/3 බලය ලබාගත් 09වන පාර්ලිමේන්තුවේ දී මේ සියලුම සම්ප්‍රදායයන් හිතාමතාම අහෝසි කෙරිණි. ආංශික අධීක්ෂණ කාරක සභා ද අහෝසි කරන ලදි. එදා පොදු විපක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ද සමග මෙම ක්‍රියාදාමයට විරුද්ධව පෙනී සිටියේ ය. එනමුත් 21වන සංශෝධනය 2023 වසරේ ගෙන ඒමෙන් පසු මෙම ආයතන සුළු කාල සීමාවකට හෝ නැවතත් ක්‍රියාත්මක විය. එම කාලය තුළ එම කමිටු විශාල කාර්යභාරයක් ඉටුකළ බව බහුතරයේ පිළිගැනීම ය.ඉතාමත්ම සාර්ථකව දියත් වූ ආංශික අධීක්ෂණ කාරක සභා ගැන මේ වනවිට නැවත අධ්‍යයනයක් කෙරෙන බවට ද වාර්තා වී ඇත. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන බොහෝ රටවල මෙම කමිටු ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කමිටු සමග විදෙස් පාර්ලිමේන්තු ද ඉහළ මට්ටමේ සහයෝගයකින් ක්‍රියාකළ ඉතිහාසයක් අපට තිබිණ. ඒ තුළින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට විශාල ශක්තියක් ලැබිණ.ආංශික අධීක්ෂණ සභාව වෙනුවට වෙනත් ආකෘතියක් හඳුන්වා දීමට කටයුතු කලහොත් ඒ තුළ විශාල ගැටලු පැන නැගීමට ද ඉඩ ඇති බව කරුණාවෙන් පෙන්වාදීමට කැමැත්තෙමු.

ආංශික අධීක්ෂණ කාරක සභාවල අප අත්හදා දුටු පළමු විශේෂ ලක්ෂණය නම් එහි දී පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික නියෝජනයක් පැවතීම ය. පසුගිය පාර්ලිමේන්තු කාල සීමාව තුළ පිටස්තර තරුණ ප්‍රජාවට ද එයට සහභාගි වීමේ අවස්ථාව ලබා දී තිබිණි. මෙය දැනට සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පමණි. එහි දී එම කමිටු ආදර්ශමත්ව, කාර්යක්ෂමව, සාමාජික මන්ත්‍රීවරුන්ගේ බලවත් උනන්දුවෙන් කටයුතු කළ ආකාරය අගය කළ යුතුය.

අප සත්භාවයෙන් හා යහපත් චේතනාවෙන් මෙම කරුණු පෙන්වා දෙන්නේ ජනතා හැඟීම හොඳින් වටහාගෙන ය. අති විශාල ජනවරමක් මෙරට ජනතාව ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී එතුමා නායකත්වය දුන් ජාතික ජන බලවේගයට ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරැකීමට එතුමා දුන් පොරොන්දු හේතුවෙනි. සිවිල් සමාජයේ අප තුළත් එම විශ්වාසය පවතී. යම් ආකාරයකින් මෙවැනි ප්‍රතිපත්ති වෙනස් කිරීම් සිදුවුවහොත් එය ජනතා විශ්වාසය බිඳවැටීමටත්‍, රජයේ කීර්ති නාමයට හා ගරුත්වයට හානිකර වීමටත් හේතු විය හැකි බව අපගේ අදහසයි.

1990 යුගයේ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ තුළින් දේශපාලනීකරණය වූ රාජ්‍යතන්ත්‍රය ඉන් මුදවාගනු ලැබූවේත්, නීතිගරුක සාධාරණ සමාජයක් ගොඩනැඟීමට මූලික පදනම සකස් කරන ලද්දේත්, අපක්ෂපාතී මැතිවරණ පැවැත්වූයේත් 17වන සංශෝධනය මුල් කරගෙනයි. මෙයට මූලිකත්වය ලැබුණේ සිවිල් සමාජයෙනි. ව්‍යවස්ථා සභාව, ස්වාධීන කොමිෂන් සභා හා විපක්ෂයට ලැබිය යුතු හිමිකම් ලැබීම ආදිය එම උත්සාහයේ ප්‍රතිඵලයකි. මෙහිදී මුල් වූ බොහෝ සිවිල් පුරවැසියන් අද ජීවතුන් අතර නැත. 2001 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජයට එක් වූයේ 17වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව මතයි. අවස්ථා දෙකක දී රාජ්‍ය නායකත්වයේ වෙනස්කම් ඇති වූ විට ගෙන ආ 18වන හා 20වන සංශෝධන තුළින් මෙම සංකල්පය මුළුමනින්ම විනාශ කරන ලදි.

අප මේ කරුණු නැවතත් ගෙනහැර දක්වන්නේ ඔබ පක්ෂය ද එම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ දී ඒ සඳහා ලබා දුන් දායකත්වය ඉහළින්ම අගය කරමිනි. එබැවින් අප විසින් ඉතාමත්ම සද්භාවයෙන් ඉදිරිපත් කරන   මෙම කරුණු ද සලකා බලා ඥානාන්විත තීරණයක් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සිවිල් සමාජයට දේශපාලන බලයක් නැතත් සමාජ බලයක් ඇත. ඔබගේ ඉදිරි ගමනට එම ශක්තිය හා සහයෝගය ලබාගනු ඇතැයි අපි විශ්වාස කරමු.

කරු ජයසූරිය
අනුශාසක
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

Previous articleCCD යේ හිටපු ASP නෙවිල් : CID අත්අඩංගුවට !
Next articleගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here