Home අද ඉන්දියාව සමඟත් මගේ වැඩපිළිවෙළම ඉදිරියට ගෙනියන්න : රනිල්ගෙන් අනුරට උපදෙස් !

ඉන්දියාව සමඟත් මගේ වැඩපිළිවෙළම ඉදිරියට ගෙනියන්න : රනිල්ගෙන් අනුරට උපදෙස් !

3
0

ශ්‍රී ලංකාව 2023 වසරේදි ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල, වත්මන් ජනාධිපති අනුර දිසානායක විසින් දැන් ක්‍රියාත්මක කළයුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.

තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත් අත්සන් කළ ‘දර්ශන ලේඛනයේ’ දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතා ක්ෂේත්‍ර දක්වා තිබෙන බවත්, වත්මන් ජනාධිපතිවරයා දර්ශන ලේඛනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව සිය අදහස වන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

මේ වන විට ඉන්දියාවේ සංචාරයේ නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපුටා දක්වමින් ඉන්දියාවේ PTI පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.

2023 ජූලි මාසයේදී ඉන්දීය සංචාරය අතරතුර එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ එකඟතාවයකට පැමිණ (Vision Document) අත්සන් කෙරිණ. හිටපු ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කරනුයේ ඒ සම්බන්ධවය.

දෙරට අතර සහයෝගීතාවයේ ක්ෂේත්‍ර, විශේෂයෙන් ආර්ථික හවුල්කාරිත්වය එමගින් දක්වා ඇති අතර විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර, ගුවන්, බලශක්ති සබඳතා සහ ජනතාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව එමඟින් අවධාරණය කර ඇත.

සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, වෙළඳාම, උසස් අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාව වේගවත් කිරීම ද එමගින් අපේක්ෂා කර ඇත.

ලංකාව ඉතිහාසයේ දරුණුම ආර්ථික දුෂ්කරතාවට පත්වූ අවස්ථාවේදී එය සමනය කර ගැනීමට ඉන්දියාව ලබාදුන් සහායද මෙහිදි හිටපු ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මෙම වසරේ දෙසැම්බර් මැද භාගයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට ද නියමිතය. එහිදී අදාල එකඟතා අනුව ඉදිරියට යාමට එකඟතාව පළකිරීමට මිස වෙනත් විකල්පයක් වත්මන් පාලනයට නොමැති බව විචාරක අදහස වී තිබේ.

Previous articleකැබිනට් මණ්ඩලයට සුදුසු එකම මුස්ලිම් ජාතිකයෙක්වත් ආණ්ඩුවේ නැද්ද? – ඇමති විජිතට ප්‍රශ්නයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here