Home අද අපිට මෙවැනි බලයක් දුන්නේ දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන්න අපේක්ෂාවන් ඉටුකරන්න –...

අපිට මෙවැනි බලයක් දුන්නේ දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන්න අපේක්ෂාවන් ඉටුකරන්න – ජනපති

2
0

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවය.

දීර්ඝ කාලයක් දරන ලද වෙහෙස, ජනතා අපේක්ෂාවන් යන සියල්ල සාර්ථක කරගැනීමේ දී යහපත් ආණ්ඩුකරණයක් තිබිය යුතු බව ද ජනාධිපතියා පැවසීය.

“ජයග්‍රහණය විශාල වගේම ඒ ජයග්‍රහණයෙන් අප වෙත පවරා ඇති වගකීම් ඒ හා සමානව බරයි.” යනුවෙන් ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම වෙනස් වූ බවත් තව දුරටත් බෙදීමේ දේශපාලනයක් අවශ්‍ය නොවන බව මෙවර මැතිවරණයෙන් පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජාතික ජන බලවේගයට ශක්තිමත් ජන වරමක් ලබාදීමට උත්සාහ ගත් සියලු ජනතාවට ස්තූති වන්ත වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජාතික ජන බලවේගයේ අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේ දී සියලු ජනතාවගේ සහාය අවශ්‍ය වන බවත් පැවසු ජනාධිපතිවරයා, පරාජිතයාගේ හිත රිදවන ඉතිහාසය වෙනස් කළ බවත් අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ බවද කියා සිටියේය.

ජනතාව වෙත මතය ගෙන යෑමේ දී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ තරුණ ප්‍රජාවට හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙවර මැතිවරණයට විශාල දායකත්වයක් හිමිවූ බවත් ඔවුන් සියලුදෙනාට ස්තූතිය පුදකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

විශාල උද්යෝගයකින් මෙවර මැතිවරණයේ දී ජනතාව නැඟිට සිටියේ, ඔවුන් විඳගෙන සිටි පීඩාව නිසා බව ද පැවසු ජනාධිපතිවරයා, මෙම මැතිවරණයේ ප්‍රතිඵලය යනු ඔවුන්ගේ නිදහස් ආමන්ත්‍රණය බව ද කියා සිටියේය.

එනිසා පුරවැසියන්ට අඩ නිදහසක් දීමට කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන බව ද පැවසු ජනාධිපතිවරයා, පුනරොද යුගයකට ශ්‍රී ලංකාව රැගෙන යා යුතු බව ද පැවසීය.

“මේ ජයග්‍රහණය ලබාගැනීමේ දී පොදුජනයාගේ විශාල මැදිහත්වීමක් තිබුණු බව අපි දන්නවා. අපි විශේෂයෙන් දන්නවා දේශපාලන යාන්ත්‍රණයට සම්බන්ධ නොවුණ, අපිට කතා නොකළ විශාල පිරිසක් අපි වෙනුවෙන් වැඩ කරා. මතක තියාගන්න ඔවුන් සෑම අවස්ථාවකදීම විශාල පිරිසක් අපගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණා. ඒ වගේම අපි මේ ජයග්‍රහණය වෙනුවෙන් දීර්ඝ කාලයක් පොරබැද්දා. මෙතෙන ඉන්න බොහෝ අය ළමාකාලයේ, තරුණ කාලයේ සිට මේ සිහිනය වෙනුවෙන් බොරබැද්දා. කාලය, ශ්‍රමය පමණක් නොවන තමන්ගේ ජීවිතයෙන් පවා මේ ජයග්‍රහණය වෙනුවෙන් පොර බැදීමක් තිබුණා. ආරම්භයේ දී අපේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න අපේ අරමුණ වෙනුවෙන් මැදිහත් වුණ අය හිටියා. සමහරු අතරමැදිව අපිව දාලා ගියා. එහෙම වුණත් අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම අවස්ථාවකදී ඔවුන් අපිට සහාය දුන්නා. එයත් මේ ජයග්‍රහණයට විශාල පිටුවහලක්. ඒ නිසා අපිට ආකාර දෙකක වගකීමක් තියෙනවා. එකක් පොදුජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරය වෙනුවෙන් තිබෙන වගකීම.

අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා. අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.”

Previous articleආර්ථිකය හඳුන්ගෙන් ගැළවෙයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here