Home අද ශ්‍රී ලංකාවේ අත්හිටුවා තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ඇරඹීමට ජපානය...

ශ්‍රී ලංකාවේ අත්හිටුවා තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ඇරඹීමට ජපානය සූදානම්

504
0

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය.

May be an image of 4 people

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

May be an image of 5 people and text

May be an image of 5 people

මෙරටට පැමිණි නිවාස, ඉදිකිරීම් හා නාගරික ක්ෂේත්‍රයන්හි නියෝජිතයින්ගෙන් සමන්විත ජපාන ඉහළ පෙළේ දූත පිරිස 18 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

May be an image of 10 people and the Oval Office

ශ්‍රී ලංකාව තුළ ජපානය විසින් නිල සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹ අවසන් වීම පිළිබඳ මෙම නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී තුළදී ණය හිමියන් සමඟ සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් ජපානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා අධ්‍යාපනය, කෘෂි නවීකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී මෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගනිමින් සමීප සබඳතා තහවුරු කරගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද පැවසීය. ඒ සඳහා දැනට අතර මඟ නැවතී ඇති ජපාන සහයෝගීතාව මත ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීම වැදගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම කොළඹ නැව් තටාකාංගනය ශ්‍රී ලංකාවට වටිනා ආයතනයක් බැවින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බව මෙහිදී ජපාන දූත පිරිස විසින් සඳහන් කළහ.

පසුගිය රජය විසින් අතරමඟ නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ ජපාන දූත පිරිස කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට මනා පිටිහවලක් වන මෙම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාව පවතින ස්ථාන නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සහ අනෙකුත් නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ (PPP) වැදගත්කම දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ. ශ්‍රී ලංකා රජය සිය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර එකඟතාවන්ට අනුකූලව පරිසර හිතකාමී ව්‍යාපෘති සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රෙය් ශ්‍රී ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බවද ජපාන දූත පිරිස ජනාධිපතිවරයා දැනුවත් කළේය. එමෙන්ම කාබන්ඩයොක්සයිඩ් වායුව විමෝචනය අවම කිරීම සඳහා උසස් මට්ටමේ ජපන් තාක්ෂණය භාවිතයෙන් සිදු කරනු ලබන පාරිසරික තිරසරභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති ඇතුළත් ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) පිළිබඳව ද මෙහිදී ජපාන දූත පිරිස විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීය.

Previous articleව්‍යවසායකයින් දිරිගැන්වීමට ජනපතිගෙන් මූල්‍ය පහසුකම් පැකේජයක් – අලුතින් ජාතික සංවර්ධන බැංකුවකුත් එයි
Next articleආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here