Home අද 26000ක ලංවිම සේවක සංඛ්‍යාව 5000ට අඩු කරනවා – ඇමති කංචන

26000ක ලංවිම සේවක සංඛ්‍යාව 5000ට අඩු කරනවා – ඇමති කංචන

1636
0

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) අනුමත සේවක සංඛ්‍යාව වන 26,000ක ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

දැනට අනුමත සේවක සංඛ්‍යාව 26,000 වෙනුවට 5,000කින් පමණක් ලංවිම කළමනාකරණය කළ හැකි බවට අමාත්‍යවරයා මීට පෙරද සඳහන් කර තිබුන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව විශාල ප්‍රමාණයකින් අඩු කිරීම කළ හැකි බව තමන් තවමත් විශ්වාස කරන බව කාංචන විජේසේකර අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ දිනයේද සඳහන් කළා.

“අපි ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය හඳුන්වා දුන්නේ ඒ නිසයි. ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට මාස 12, මාස 18 සහ මාස 24 කාල රාමුවක් ඇත. ඒ කාල රාමුවත් එක්ක තමයි අපි යන්න ඕනැ” අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

අපට අවශ්‍ය වන්නේ සේවකයන් 5000ක් පමණක් නිසා දැනට සිටින 26,000ක සේවකයින්ගෙන් 21,000ක් පන්නා දැමිය නොහැකි බවත් අතිරික්ත 21,000න් සමහරක ස්ව කැමැත්තෙන් විශ්‍රාම ලබාගෙන පිටවීමට යෝජනා කර ඇති අතර තවත් සමහරු විශ්‍රාම යාමෙන් ඉවත් විය යුතු බවත් වාර්ෂිකව සේවකයන් 1200ක් විශ්‍රාම යන යන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ලංවිම ආයතනය වෙන වෙනම ආයතන වලට වෙන්කර එහි සේවකයින් කප්පාදු කිරීම හරහා ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට ලංවිම වෘත්තීය සමිති විරුද්ධ වී ඇති අතර දැනටමත් සේවක සංඛ්‍යාව 4,000ක් විශ්‍රාම ගොස් ඇති අතර විශ්‍රාමික සේවක පුරප්පාඩු සඳහා රජය කිසිවකු බඳවාගෙන නොමැත.

කෙසේ වෙතත්, රජය අසාධාරණ ලෙස සේවකයින් ඉවත් නොකරන බවද අමාත්‍යවරයා පැවසීය

දැනට සිටින කාර්ය මණ්ඩලය නෙරපා හැරිය නොහැකි බවත් සමහරුන්ට ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යෝජනා කර ඇති බවත් ඇතැමුන් විශ්‍රාම යන විට ඔවුන්ගේ තනතුරු පුරවා නොගෙන පුරප්පාඩු සම්පූර්ණ කළ යුතු ප්‍රදේශවලට පමණක් බඳවා ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

“ඒක තමයි අපේ ප්‍රතිපත්තිමය තීරණය. ඒ අනුව පමණක් විශ්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩු 4000 න් එකක්වත් අපි සම්පූර්ණ කර නැහැ. අවශ්‍යතාවය සපුරාලීම සඳහා අපි කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවන් 20 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. නමුත් ඉදිරියේදී අත්‍යවශ්‍ය තනතුරු සඳහා පමණක් සේවක සංඛ්‍යාව සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.

Previous articleවාසුගේ නායකයා බවට නිරෝෂන් පත් වේ
Next article‍‍ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ අද ජනපතිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here