Home අද දකුණු කොරියාවේ සෘතුමය රැකියා ලැබූ 107ක් අනාථ වෙන ලකුණු !

දකුණු කොරියාවේ සෘතුමය රැකියා ලැබූ 107ක් අනාථ වෙන ලකුණු !

43
0

E8 කාණ්ඩය හෙවත් සෘතුමය රැකියා සඳහා දකුණු කොරියාවෙන් මෙරටට ලැබී ඇති කෝටාව යටතේ 100 දෙනෙකුට වැඩි පිරිසකට රැකියා සඳහා පිටත්ව යාමට අවස්ථාව ලැබී ඇතත් ඊට මෙතෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ පසුගිය පාලනය යටතේ විෂය භාර බලධාරීන් මෙකී රැකියා සඳහා අත්සන් කර තිබෙන ගිවිසුම නීත්‍යානුකුල ආකාරයට සිදුකර නොමැති බැවින් ඊට අවසර ලබාදීමට නොහැකි බවයි.

මෙවැනි කටයුත්තකදී නීතිපතිවරයා , විදේශ කටයුතු අමාත්‍යංශය මෙන්ම විදෙස සේවා නියුක්ති කාර්යාංශය මඟින් නිසි අවසරයක් ලැබිය යුතු නමුත් මෙහිදී එම ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර තනි පුද්ගල අවශ්‍යතාවක් මත ක්‍රියාකර ඇති බවද කාර්යාංශය පවසයි .

2019 වසරේ සිට මෙම කෙටිකාලීන රැකියා කෝටාව පිළිබඳව සලකා බලමින් සිටියදී එය ලබා දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද කාර්යාංශය සඳහන් කරයි .

කෙසේ වුවත් මේ හේතුවෙන් ලාංකිකයන් 107 දෙනෙකු වෙත දකුණු කොරියාව විසින් E8 කාණ්ඩය හෙවත් සෘතුමය රැකියා සඳහා වීසා ලබා ඇතත් එම රැකියා අවස්ථාව අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබේ .

වීසා ලාභී දකුණු කොරියානු රැකියා ලාභීන් පවසන්නේ නොවැම්බර් 26 වන දා වන විට දකුණු කොරියාවට යාමට නොහැකි වුවහොත් වීසා අවලංගු වී එම රැකියා අහිමි වන බව ය.

අදාළ E8 කාණ්ඩය හෙවත් සෘතුමය රැකියා සඳහා වීසා ලබා ඇති පිරිස මාස 8ක කාලයක් දකුණු කොරියාවේ රැකියාව කිරීමට හිමිකම ලබන අතර ඉතිරි මාස කිහිපය තුළ යළි මෙරටට පැමිණිය යුතුව ඇත . නමුත් මෙම වීසා පහසුකම යටතේ මාස 8 බැගින් වසර 3ක් දකුණු කොරියාවේ රැකියාව කිරීමට අවස්ථාව හිමිව පවතී .

පසුගිය පාලනය යටතේ විදේශ රැකියා සම්බන්ධ වගකීම දැරූ අමාත්‍යවරයා වන්නේ මනුෂ නානායක්කාර වන අතර වත්මන් අනුර දිසානායක පුනරුද පාලනය යටතේ එකී විෂය භාරව වගකීම දරනුයේ අමාත්‍ය විජිත හේරත් ය .

Previous articleමහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කෙරේ
Next articleනියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අමාත්‍යංශය තුළදී උපන්දිනය සමරයි.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here