Home අද ඉන්දියාවෙන් ත්‍රීකුණාමලයට දැවැන්ත ආයෝජන කලාපයක්.!

ඉන්දියාවෙන් ත්‍රීකුණාමලයට දැවැන්ත ආයෝජන කලාපයක්.!

1564
0

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය පිළිබඳවද ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද සාකච්ඡා කර තිබේ.

ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවත් ජයශංකර් මහතා එහිදී සඳහන් කර තිබේ.

නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් අද (10) සිදු වු අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.

ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර, අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජයශංකර් මහතා පැවසීය.

අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තන පනත මඟින් පළාත් සභාවලට හිමිවන බවයි.

එසේම සත්‍ය හා ප්‍රතිසංධාන පනත් කෙටුම්පත ලබන ජුලි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ‍ සාකච්ඡා කෙරුණු අතර දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනමින් තීරණයකට එළැඹීමට ද අවධානය යොමු විය.

වතු ලයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත්, අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගම්මාන දියුණු කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනය ද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ඉන්දීය රජයේ දූත පිරිසක්මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Previous articleඅගමැති මෝදි ලබන අගෝස්තුවේ ශ්‍රි ලංකාවේ සංචාරයක් – ජනපතිගේ ආරාධනය පිළිගනියි
Next articleරට විරුවන්ගෙන් ලංකාවේ ආර්ථිකයට ලැබුන තල්ලුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here