Home අද ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ ලෙස යළි පණ ගැන්වෙන පිටකොටුවේ Floating Market

ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ ලෙස යළි පණ ගැන්වෙන පිටකොටුවේ Floating Market

2518
0

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීම සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා.

ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) සිදු කෙරුණි.

ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරේ.

මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල විය. මේ පිළිබඳව අවධානය යොමු කළ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ දැනට රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නත් සමඟ ආයතනයේ මුදල් යොදවා මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින් මෙය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසයි.

නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා ආයෝජකයන්ට ඉදිරිපත් වන ලෙස ආරාධනය කළේය. මෙම ජපන් ආයෝජකයා ඉදිරිපත් වූයේ ඒ අනුවයි. පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කෙරෙන්නේ ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ ලෙසයි.

එය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දීමට නියමිතය. විදෙස් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් හා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපනය කිරීම මෙහි අරමුණ වේ. එය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි.

පිටකොටුව පාවෙන වෙළඳපොල කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටා ඇත. එය වෙළඳ කුටි 92 කින් සමන්විතය අතර බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක් ද තිබේ.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීම සඳහා ජපාන ආයෝජකයන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා කියා සිටියේ ,
“පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නැවත පණ ගැන්වීමට පිළිබඳව අපි විවිධ ආයෝජකයින් සමඟ සාකච්ඡා කළා. ඒ අනුව අපිට ගැලපෙනම ආයෝජකයා ලෙස තෝරාගනිමින් ඔහුට බදු දීමට අපි කටයුතු කරමින් යනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දැනට පාවෙන වෙළඳ සංකීර්ණයේ සිටින ව්‍යාපාරික ප්‍රජාවට කිසිදු බලපෑමක් හානියක් සිදු වන්නට ඉඩ දෙන්නේ නෑ.” යනුවෙන්ද සඳහන් කළේය.

Previous articleදකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ
Next articleබැසිල්ගේ වැඩේ නාමල්ට බාර දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here