Home අද උසස් පෙළ සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5  සිට

උසස් පෙළ සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5  සිට

1350
0

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.  දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවද මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවද අවධාරණය කළ අමාත්‍යවරයා, දැනට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද පෙන්වා දුන්නේය. දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100 ක් වන බවත් ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් දාහතකින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවද ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත් වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඉදිරි සති කිහිපය ඇතුළත සෑම පාසලකම පන්ති කව ආරම්භ කළ යුතු බවද ඒ හරහා දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් මැදිහත් විය යුතු ආකාරය දැනුවත් කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  විශේෂයෙන්ම පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වා ගැනීමට සමස්ත පාසල් ප්‍රජාවගෙන් සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා,  ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ සාකච්ඡා කරන බවද දැනටමත් රජය සියලු‍ රජයේ සේවකයින් වෙනුවෙන් වැඩි කරන ලද වැටුප් ගෙවීමට වසරකට බිලියන එකසිය පනහක් රජය වැය කරන බවද පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, වරාපිටිය පාසල් පර්ශදයේ පෝෂිත පාසල් සඳහා සම්පත් බෙදා දීමේ වැඩසටහනට ප්‍රධාන ආරධිතයා ලෙස එක්වෙමිනි. මෙහි දී වරාපිටිය මහ විද්‍යාලයට, හඳුගල මහ විද්‍යාලයට සහ කැකිරිඕබඩ මහ විද්‍යාලයට සුහුරු පුවරු (ීප්රඑ ඊදරා) ලබා දීම සිදුවිය. තවද එම පාසල් පර්ශදයේ පාසල් නවය සඳහා ම පාසල් පෙළපොත් නිළ ඇඳුම් ලබා දීම ද සිදුවිය. සිසුන් 200ට අඩු පාසල් සඳහා පාසල් බෑග්, පාසල් උපකරණ කට්ටල, පාසල් පාවහන් වවුචර, අභ්‍යාස පොත් කට්ටල ලබා දීමත් මීට සමඟාමීව සිදුවිය. වරාපිටිය මහ විද්‍යාලයට, හඳුගල මහ විද්‍යාලයට සහ කැකිරිඕබඩ මහ විද්‍යාලය විදුලි පා පැදි දෙක බැගින් ලබා දීමත් එම පර්ශදයේ තවත් පාසල් හයකට විදුලි පාපැදි ලබා දීමත් සිදු වූ අතර ක්‍රීඩාභා‍ණ්ඩ ලබා දීම ද සිදුවිය.

Previous articleසිසු දරු දැරියන් ලක්ෂයකට ජනපතිගෙන් ශිෂ්‍යත්ව
Next articleස.ජ.බ කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here