Home අද විජිත හේරත්ගේ ප්‍රකාශය සාවද්‍ය පදනමක් නැති ජනතාව නොමග යවන ප්‍රකාශයක්

විජිත හේරත්ගේ ප්‍රකාශය සාවද්‍ය පදනමක් නැති ජනතාව නොමග යවන ප්‍රකාශයක්

3708
0

ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරනවා.

ඔහු අවධාරණය කරන්නේ ගෝල්ෆේස් අරගල භූමිය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙරේදා (20) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සාවද්‍ය පදනම් විරහිත හා ජනතාව නොමග යවන ප්‍රකාශයක් බවයි.

රටට ආයෝජකයින් ගෙන ඒමට රජය කටයුතු කරද්දී ජනතාව තුළ වැරදි මත පතුරවමින් එය කඩා කප්පල් කිරීමට විපක්ෂය දරන උත්සාහය පිළිකුලෙන් හෙලා දකින බවද ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා අද (22) පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

“ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා පෙරේදා (2024.02.20 වෙනිදා) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගෝල්ෆේස් අසළ ඉඩමක් කැසිනෝ ව්‍යාපෘතියකට දෙන්න සුදානම් වෙන බවත්, විසුම්පායේ ගොඩනැඟිල්ල විදේශ ආයෝජකයෙකුට ලබා දීම පිළිබඳවත් ප්‍රශ්න කළා.

ගරු විජිත හේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය, කිසිදු පදනමක් නැති ප්‍රකාශයක් බව මම මුලින්ම කියන්න කැමතියි. රට තුළට විදේශ අයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා 2022 නොවැම්බර් 14 පැවති ඇමති මණ්ඩල රැස්වීමේ දී නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත විදේශ ආයෝජකයන්ට ලබා දීමට අනුමැතිය දුන්නා.

2023.01.19 පැවති නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය ද විදේශ ආයෝජකයන්ගේ ඉල්ලීම් ඉතා ක්‍රමවත්ව ඇගයීම් කර ආර්ථික, සාමාජීය හා පරිසර අතින් වඩාත් සුදුසු අයෝජන පමණක් තෝරා ගැනීම සඳහා සැකසුනු ක්‍රමවේදයකට අනුමැතිය දුන්නා.

මේ ක්‍රමවේදය ඇතුලත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත් කළ වාර්තාව මා මේ සමඟ සභාගත කරනවා.

ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා සඳහන් කළ ගෝල්ෆේස් අසළ ඇති අරගල භූමිය පැවති ඉඩම කිසිදු ආයෝජකයෙකුට ලබා දී නෑ.

කොළඹ 03 බාලදක්ෂ මාවතේ ඇති අක්කර 01ක ඉඩමට සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බාලි ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අධිකාරිය විදේශීය ආයෝජකයන්ට ව්‍යාපෘති සඳහා අධිකාරියේ ඉඩම් සෘජුව ලබාදීමේ ක්‍රමවේදයට අනුව ඔවුන්ගෙන් තොරතුරු ලබා ගෙන 2024.02.16 වන දින අවබෝධතා ගිවිසුම අත්සන් කළා.

අදාළ ආයෝජකයා විසින් පෙරසැරි ගාස්තු ලෙස ඩොලර් දස දහසකට සමාන මුදලක් රුපියල් වලින් නාගරික සංවර්ධන අධිකාරියේ තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව අදාල ඉඩම සඳහා රජයේ තක්සේරු වාර්තාව ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබතුමාගෙන් ගරු විජිත හේරත් මන්ත්‍රිතුමාට දැනුම් දෙන්න කැමතියි මෙතන දී අපි කිසිදු වැරදි දෙයක් කරලා නෑ. මෙම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ මිශ්‍ර ආයෝජනයක් සඳහා. අදාල යෝජනාව තවමත් අනුමත වෙලා නෑ.

මේ සභාවට ඉතාම වගකීමෙන් කියන්න කැමතියි රජයේ නීති රීතිවලට පිටින් අපි කිසිදු ඉඩමක් විදේශ අයෝජකයෙකුට ලබා දීමට හෝ එවැනි ආයෝජනයන්ට අනුමැතිය ලබා දීමට හෝ කටයුතු කරන්නේ නෑ. ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා දෙවන කාරණාව විදියට කියන්නේ විසුම්පාය රජයේ අනුමත මුදලට වඩා අඩුවෙන් දෙන්න යනවා කියලා. කොළඹ සහ ඒ අවට තියෙන පෞරාණික ගොඩනැඟිලි එහි පෞරාණිකත්වයට හා පුරාවිද්‍යා වටිනාකම්වලට හානියක් නොවන අයුරින් සංවර්ධනය කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ අනුවයි විසුම්පාය ව්‍යාපෘතියආරම්භ කළේ.

විසුම්පාය කියන්නේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දේපලක්. එම ගොඩනැඟිල්ල කිසිසේත් වෙනස් කළ නොහැකියි. ඒ අනුව විසුම්පාය සඳහා අධිසුඛෝපභෝගී බුටික් හෝටල් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. ඒ අනුව මේ සඳහා Azhotels නැමති ආයෝජකයන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට අදාල ගිවිසුම අපි අත්සන් කළේ 2023.07.07. අවබෝධතා ගිවිසුමට අනුව ආයෝජකයා විසින් මූලික ආයෝජන යෝජනාවක් 2023.08.16 වන දින ලබා දුන්නා.

රජයේ ක්‍රමවේදයට අනුව රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වටිනාකම ලබා ගත්අතර රජයේ තක්සේරු මුදල වුණේ රුපියල් මිලියන 8,299ක්. අදාල ආයෝජකයා විසින් ස්වාධීන තක්සේරුකරුගෙන් ලබා ගත් තක්සේරුව මූලික ආයෝජන වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර එහි තක්සේරුව ලෙස දැක්වුණේ රුපියල් මිලියන 3,256ක්.

ආයෝජකයා විසින් මේ මුදලේ වෙනස පැහැදිලි කරන ලෙස ඉල්ලා තිබුණා. ඊට අදාලව එම ඉල්ලීම රජයේ ප්‍රධාන තක්සේරුකරු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් නැවතත් රජයේ තක්සේරු මුදල තහවුරු කර තිබෙනවා. ඒ අනුව කටයුතු කරන ලෙස ආයෝජකයාට අපි දැනුම් දීල තියනවා.

අපේ රටේ මූලික ගැටළුව තමයි ආර්ථික අර්භුදයට හේතු වුණේ විදේශ සන්චිත නොමැති වුණේ. අපිට විදේශ සංචිත එන්නේ සංචාරකයින්ගෙන්, දෙවෙනි එක විදේශ අයෝජකයින්ගෙන්, අපේ රටේ ඉන්න පිටරට වල ඉන්න අපි දන්නවා පසුගිය කාලෙම මේ කාරනා වල ඇතිවුණු තත්වය. කොවිඩ් වසංගතය නිසා සංචාරකයින් එන එක නතර වුණා. අයෝජනය එන එක නැවතුණා. අරගලය නිසා ආයෝජනය එන එක නැවතුණා. අපේ රටේ විපක්ෂයේ දේශපාලන පක්ෂ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීම් කලා විදේශ සංචිත එවන්න එපා කියලා. ඒ නිසා අපි ආර්ථික වශයෙන් කඩන් වැටුණා. හැබැයි දැන් මේ මේ ආර්ථික අර්බුදය තියෙන වෙලාවේ විදේශ ආයෝජකයෝ එනවා ආයෝජනය කරන්න. ඒ අයට අවශ්‍ය කරන ක්‍රියාදාමය අපි හදන්න ඕන.

ඉන්දියාව වගේ රටවල් වල මෝදි අගමැතිතුමා විදේශ ආයෝජකයෝ අවාම ඒ අයට පහසුකම් දීලා මාස හයක් වගේ කාල සීමාවක් තුළ ආයෝජන කරන්න පුළුවන් වාතාවරණයක් ඇති කරනවා. අපේ රටේ එහෙම නොකර ආයෝකයෝ එන්නේ නැහැ. ආයෝජකයෝ එක්ක අපි සාකච්ඡා කරනවා නමුත් අනුමත කරන්නේ රජයේ නීත්‍යානුකූල ක්‍රමවේදය අනුවයි. මේ වෙනකොට සංචාරකයෝ එමින් පවතිනවා. විදේශ ශ්‍රමිකයින්ගේ සංචිත ටික රටට එනකොට ඒක දරාගන්න බැරි කණ්ඩායමක් වැරදි මතවාද රටේ ප්‍රචාරය කරන්න කටයුතු කරනවා.”

Previous articleසංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්
Next articleකාරක සභා කිහිපයකට නම්කළ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here