Home අද සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය...

සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්

3831
0

මෑත කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් අතිබහුතරයක් ඉන්දීය සංචාරකයන් බැවින් තවදුරටත් ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ සඳහා වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කරන ලද සංදේශයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද හෙතෙම කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ සංචාරකයන්ට අඩු පිරිවැය සහිත සංචාරක හා ප්‍රවාහන ගාස්තු ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබේ. මගී ප්‍රවාහන යාත්‍රාවලින් පිටව යන මගීන්ගෙන් මෙතෙක් අය කළ අපගමන බද්ද අමෙරිකානු ඩොලර් 5ක් දක්වාත් මගී නෞකා මාර්ගයෙන් මෙරටින් පිටව යන මගීන්ගෙන් මෙතෙක් අය කළ අපගමන බද්ද අමෙරිකානු ඩොලර් 20ක් දක්වාත් අඩු කිරීමට මේ අනුව පියවර ගෙන තිබේ.

එමෙන්ම මගී යාත්‍රා මඟින් ගමන් කරන මගියකුට කිලෝග්‍රෑම් 60ක් දක්වා නිදහස් ගමන් මලු දීමනාවක් ප්‍රදානය කිරීමටත් මේ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වූ බව ද ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම මඟින් ඉන්දියාවෙන් මෙරටට එන සංචාරකයන්ටත් මෙරටින් ඉන්දියාවට යන ශ්‍රී ලාංකික සංචාරකයන්ටත් අඩු පිරිවැයකින් ආකර්ෂණීය සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට හැකි බව කී ඇමැතිවරයා, ඉන්දීය සංචාරකයන් මෙරටට පැමිණි විට ඒ ඒ පළාත්වල ජනතාවගේ ආදායම් මාර්ග වර්ධනය කරගත හැකි බව සඳහන් කළේය.

ජනතාවට සිය නිෂ්පාදන අලෙවි කරගත හැකි වීම මෙන්ම රැකියා අවස්ථා ජනිත වීම වැනි යහපත් අතුරු ප්‍රතිඵල රැසක් මෙමඟින් උදාවනු ඇතැයි ද අම­ාත්‍යවරයා පැවසීය.

මීට අමතරව සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය මඟින් දෙරටේ සංචාරකයන්ට අඩු පිරිවැයකින් ප්‍රවේශ වීමේ අවස්ථාව මෙන්ම, දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, වැඩිදියුණු වූ සම්බන්ධතා මඟින් සංස්කෘතික හුවමාරු ඇති වීම, අධ්‍යාපන, ආගමික, සංස්කෘතික, කලා, ක්‍රීඩා වැනි ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව දිරිමත් කිරීමට ඉඩ ප්‍රස්ථා හිමි වන බව ද ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

මේ වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. ගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් ලක්ෂ 14 අතුරින් 302,844 දෙනකුම ඉන්දීය සංචාරකයන්ය. එම ප්‍රමාණය සියයට 21කි. මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් පිරිස ලක්ෂ 3ක් ඉක්මවා ඇති අතර ඉන් 50,000කට ආසන්න පිරිසක් ඉන්දීය සංචාරකයෝ වෙති.

 

මේ නිසා ඉන්දියාව මෙරට විශාලතම සංචාරක වෙළෙඳපොළ ලෙස තවදුරටත් ප්‍රථම ස්ථානයේ පවතී. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩි දියුණු කිරීමේ වැඩසටහන මඟින් ඉන්දීය සංචාරකයන්ට අඩු වියදමින් මෙරට සංචාරය කිරීමට අවස්ථාව සැලසීමෙන් එම ඉලක්කය කරා ගමන් කිරීමේදී වඩාත් පහසු වනු ඇතැයිද රජය අපේක්ෂා කරයි.

මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ. එමඟින් මේ වසර තුළ ඩොලර් බිලියන 6ක සංචාරක ආදායමක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වේ. ඒ සඳහා ද මෙම වැඩසටහන විශාල පිටිවහලක් වනු ඇතැයි රජය බලාපොරොත්තු වෙයි.

Previous articleශීඝ්‍ර සංවර්ධනයක් සහ සුරක්ෂිත රටක් හදන්න ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා එක්වන්න – ජනපති
Next articleවිජිත හේරත්ගේ ප්‍රකාශය සාවද්‍ය පදනමක් නැති ජනතාව නොමග යවන ප්‍රකාශයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here