Home අද කෝටි ගණන් ආදායම් ලබන පන්සල් වලින් වහාම බදු අය කරන්න.! – රාහුල...

කෝටි ගණන් ආදායම් ලබන පන්සල් වලින් වහාම බදු අය කරන්න.! – රාහුල හිමි ආණ්ඩුවෙන් ඉල්ලයි

1061
0

බදු ගෙවීම යනු ශ්‍රී ලංකාවේ ජනතාව වර්තමානයේ මුහුණ දෙන දැවැන්ත ම අර්බුද අතරින් එකකි.

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන ශ්‍රී ලාංකිකයෝ මේ වන විට ආදායම් බදු ගෙවමින් සිටිති.

රජය හඳුන්වා දුන් නව ආදායම් බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව මැසිවිලි නගන්නේ, භාණ්ඩ හා සේවා මිල ගණන් අතිශයින් ඉහළ ගොස් ඇති අවස්ථාවක මාසිකව රුපියල් ලක්ෂයක් වැනි ආදායමක් ලබා ගන්නා පුද්ගලයින්ගෙන් බදු අය කිරීම අසාධාරණ බව පවසමිනි.

‘බදු නොගෙවන කෝටිපතියෝ’ යනුවෙන් රාහුල හිමි හඳුන්වන්නේ කවුරුන් ද?

ජීවිතය පවත්වාගෙන යාම සඳහා විවිධ දුක්ගැහැට විඳිමින් උපයා ගන්නා ආදායම්වලට බදු අය කර ගන්නා රටක ආගමික ස්ථානවලින් ආදායම් බදු උපයා ගැනීමට රජය පියවර නොගැනීම අතිශයින් අසාධාරණ ක්‍රියාවක් බවට ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ චෝදනා කරති.

උන් වහන්සේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, ඇතැම් විහාරස්ථාන මාසිකව රුපියල් කෝටියකට වඩා ආදායමක් ලබන බව ය.

“බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු පූජනීය ස්ථාන තියෙනවා, දවසකට රුපියල් කෝටි ගණන් එකතු වෙන. ඒ හැම තැනකින් ම අනිවාර්යයෙන් බද්දක් අය කර ගත යුතු යි. මම ආගමික නායකයින්ව හඳුන්වන්නේ බදු නොගෙවන කෝටිපතියෝ විදිහට යි.”

වනවාසී රාහුල හිමියන් වැඩිදුරටත් පැවසුවේ, ආගමික ස්ථාන බදු නොගෙවා සිටීම බදු ගෙවන්නන්ට කරන අසාධාරණයක බව ය.

“මේක හැම කෙනාට ම සාධාරණයක් වෙන්න නම් ආගමික ස්ථානවලිනුත් බදු අය කර ගත යුතු යි.හැම බද්දක් ම හැම පුරවැසියා ම ගෙවන්න ඕනෙ. මේ ආගමික ස්ථානවලට මුදල් දෙන්නෙත් අමාරුවෙන් කීයක් හරි හම්බ කර ගන්න සාමාන්‍ය පුරවැසියෝ. ඔවුන් බදු වර්ග ඔක්කොම ගෙවන ගමන් ආගමික ස්ථානවලටත් මුදල් දෙනවා. ආගමික ස්ථානවලින් ඒවාට බද්දක් අය කර ගන්නෙ නැත්නම් ඒක බදු ගෙවන අසරණ මිනිස්සුන්ට කරන විශාල අසාධාරණයක්.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ, ආගමික ස්ථාන ආදායම් බද්දෙන් නිදහස් කර ඇති බව ය.

“දැනට ආගමික ස්ථානවල ආදායම් සම්බන්ධයෙන් බදු අය කර ගැනීමට කිසිදු පියවරක් අරගෙන නෑ. ඒ නිසා ඒ ආයතන බද්දෙන් නිදහස්,” මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආගමික ස්ථාන ආශ්‍රිත ව්‍යාපාර
ඇතැම් ආගමික ස්ථානවලට ව්‍යාපාර මගින් ලැබෙන ආදායම් සඳහා ආදායම් බදු ක්‍රියාත්මක වන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ගොඩනැගිලි කුලියට හෝ බද්දට දීම, පාසල් පවත්වාගෙන යාම ආදී ව්‍යාපාරික වශයෙන් ආදායමක් ලබන ආගමික ස්ථානවලින් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් පවතින බව ය.

මේ සම්බන්ධයෙන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු තොරතුරු නිලධාරීවරයෙක් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කළේ ය.

“ආගමික ස්ථානයක ව්‍යාපාරයක් කරලා ආදායමක් තියෙනවා නම්, ඒ ආයතනවල තියෙන දේවල් කුලියට දීලා ආදායම් උපයනවා නම්, එයාලගේ තියෙන සල්ලි පොතේ දාලා පොළිය ලැබෙනවා නම් ඒ වගේ ආදායම් මාර්ගවලින් ලැබෙන මුදල්වලට බදු ගැනීමක් කරනවා.”

කෙසේ වෙතත්, ආගමික ස්ථානවලට අයත් ඉඩකඩම් ආදී නිශ්චල දේපළවලින් ලැබෙන ආදායම්වලට බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති බව ඔහු පැවසීය.

මේ අතර, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසුවේ, පූජනීය ස්ථානවලට දායකයින් ලබා දෙන මුදල් පරිත්‍යාග ලෙස හඳුන්වන අතර එම ආදායම්වලට බදු පැනවීමක් නොකරන බව ය.

දළදා මාලිගාව සහ අගරදගුරු පාර්ශවයේ අදහස්
නව බදු ප්‍රතිපත්තිය හරහා ආගමික ස්ථානවල ක්‍රියාත්මක ව්‍යාපාර හරහා ලබන ආදායම්වලින් බදු අය කර ගැනීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දළදා මාලිගාවේ පරිපාලන කාර්යාලයේ නිලධාරීවරයෙකු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ය.

මේ අතර, තමන්ට ද කිසිදු පැහැදිලි කිරීමක් ලැබී නොමැති බව කොළඹ අගරදගුරු නිවසේ මාධ්‍ය අධ්‍යක්ෂ ගෞරවණීය ජූඩ් ක්‍රිශාන්ත පියතුමා ද සඳහන් කළේ ය.

TIN අංකය අනිවාර්ය යි
මේ අතර, ආගමික නායකයින් ද බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහි බදු තොරතුරු නිලධාරීවරයා සඳහන් කළේ, වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා ගත යුතු අතර, එහිදී පූජ්‍ය පක්ෂයට ද එය අදාළ වන බව ය.

එම අංකය හරහා ආගමික ස්ථාන සහ පූජ්‍ය පක්ෂය නියෝජනය කරන්නන් සතු ආදායම් ගණනය කරන බව ද ඔහු සඳහන් කළේ ය.

‘පූජනීය ස්ථාන විගණනය කරන්න නිලධාරීන් ප්‍රමාණවත් නෑ’
මේ අතර, සියලු ආගමික ස්ථානවල ආදායම් විගණනය කළ යුතු බව වනවාසී රාහුල හිමියෝ පවසති.

සියල්ල විගණනය කරන රටක පන්සල්, පල්ලි ඇතුළු පූජනීය ස්ථානය විගණනය නොකර සිටීම වරදක් බව උන් වහන්සේ පැවසූහ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ඇති පූජනීය ස්ථානවල ආදායම් විගණනය කිරීමට විගණකාධිපති කාර්යාලය සතු මානව සම්පත් ප්‍රමාණවත් නොවන බව එහි ප්‍රකාශකයෙක් බීබීසී පුවත් සේවයට පැවසීය.

“පූජනීය ස්ථානවල ආදායම් විගණනය කරන්න අපට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නෑ. ඒ නිසා පූජනීය ස්ථාන විගණනය කරන්න ක්‍රමයක් නෑ. අපි කරන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව කරලා තියෙනවා ද කියලා විගණනය කරන එක යි.”

මේ අතර, වනවාසී රාහුල හිමියන්ගේ අදහස වී ඇත්තේ, පාලකයින් තමන්ට ඡන්ද අහිමි වේයැ යි බියෙන් පූජනීය ස්ථාන බද්දෙන් නිදහස් කර ඇති බව ය.

“මම අහන්නේ, ඇයි ඔවුන්ගෙන් බදු අය කර ගන්නෙ නැත්තෙ? වෙන මොනවත් නෙවෙයි හේතුව. තමන්ට ඡන්දෙ අහිමි වෙයි කියන බයට යි එහෙම නොකරන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. රටේ අසරණ ජනතාව සියලු බදු ගෙවනවා නම් ආගමික නායකයිනුත් බදු ගෙවිය යුතු යි. පූජනීය ස්ථානවලට වැඩියෙන් ආදායම් ලැබෙන්නේ, පරිත්‍යාග සහ වතුපිටිවලින් ලැබෙන ආදායම්වලින්. ඒවා විගණනය කරලා බදු අය කර ගත්තොත් රටට විශාල ආදායමක් ලැබෙනවා.”

උපුටාගැනීම BBC NEWS සිංහල

Previous article2011 දී පෙරාදෙණියේ නවක වදය දුන් අපරාධකරුවෝ දැන් ගුරුවරු  – නවකවදයට මුහුණ දුන් සිසුවා අධ්‍යාපනය අතහරී
Next articleජනාධිපතිකම නැතිකරන්න සිරිසේන අත්දෙකම ඔසවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here