Home අද මහ කන්නය සඳහා ගොවීන්ට කෝටි 960ක් ගොවි ගිණුම්වලටම බැර කර අවසන්

මහ කන්නය සඳහා ගොවීන්ට කෝටි 960ක් ගොවි ගිණුම්වලටම බැර කර අවසන්

1796
0

මෙවර මහ කන්නයේදී වී වගාව ආශ්‍රිතව පොහොර මිල දී ගැනීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 960ක් (බිලියන 9.6) ගොවීන් වෙත මේ වන විට ලබා දී අවසන් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ගොවීන් මිලියන 1.2ක් සඳහා හෙක්ටයාර එකකට රුපියල් 15,000 බැගින් උපරිමය හෙක්ටයාර 2 දක්වා බිම් ප්‍රමාණයකට එම මුදල් ලබා දීම සිදු කෙරෙන අතර ඊයේ (05) තවත් රුපියල් මිලියන 450ක් ගොවි ගිණුම්වලට බැර කිරීමේ කටයුතු ආරම්භ කළ බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව සමස්ත ගොවි ජනතාවගෙන් සියයට 93කට මෙම මුදල් ගෙවා අවසන් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නැති බවට ඇතැම් ගොවි සංවිධානවල නියෝජිතයන් යැයි කියා ගන්නා පුද්ගලයන් මාධ්‍ය ඔස්සේ පළ කරන ප්‍රකාශ සම්බන්ධව අවධානය යොමු කරමින් ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳ කෘෂිකර්ම ඇමැතිවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාගෙන් ඊයේ (05) කළ කරුණු විමසීමකදී මෙම තොරතුරු අනාවරණය විය. පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව නිසා කුඹුරුවලින් සියයට 07ක් පමණ ජලයෙන් යටව වගා හානියට පත් විය. එමෙන්ම බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල මාස් කන්නයේ ප්‍රමාද වී කුඹුරු වගා කරනු ලබයි.

එම කුඹුරු සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන පමණක් දැනට ගෙවීමට ඉතිරිව ඇති බවත් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා ඇමැතිවරයා හමුවේ අවධාරණය කළේය.

මහ කන්නයේ වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දෙන රුපියල් 15,000ක දීමනාව සඳහා රජය විසින් වැය කරන මුදල රුපියල් බිලියන 10කි. මෙම මුදල රජයේ වියදමින් ලබා දෙන අතර මුදල් අපහසුතා මධ්‍යයේ වුවද ගොවි ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණින් රජය මෙම පියවර ගනු ලැබීය.

මෙම සහන මුදල් ලබා දීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා මඟ හැරවීම සඳහා ගොවි ගිණුම්වලටම එම මුදල බැර කිරීමට කටයුතු යොදනු ලැබූ අතර ඇතැම් ගොවි ගිණුම්වල අංකවල තිබූ දෝෂ සහිතභාවය නිසාත් කුඹුරු විශාල ප්‍රමාණයක් ගංවතුර නිසා හානියට පත්වීම නිසාත් නිසි වේලාවට මුදල් ගිණුම්ගත කිරීමට නොහැකි වූ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. නමුත් සියලු බාධක මධ්‍යයේ වුවත් ඉදිරි සති දෙකක කාලය තුළ ගොවි ගිණුම්වලින් 100%ම එම මුදල ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇමැතිවරයා හමුවේ අවධාරණය කර තිබේ.

Previous articleජුනි මාසය වන විට පාසල් 3000ක් ඩිජිටල්කරණයට
Next articleකෙහෙළියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here