Home අද දැනුවත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි – ජනපති

දැනුවත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි – ජනපති

1103
0

දැනුවත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට 31 වැනිදා එක් වෙමිනි.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

එසේම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

2019 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු කළා.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වෙනවා. එම ධර්මය මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකවාසී ජනතාවට ලබාදීම සඳහා මෙම ආයතනයට විශාල වැඩ කොටසක් සිදුකළ හැකියි. මෙම ආයතනය පිහිටුවා වසර පනහකට ආසන්න කාලයක් ගත වෙනවා.

ථෙරවාදි බුදු දහම පිළිබඳ බෞද්ධ රටවල්වල පමණක් නොව අනෙක් රටවලටද අවබෝධය ලබාදීම සඳහා සිදු කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම ථෙරවාදි රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමටත් මෙම ආයතන හරහා හැකියාව තිබෙනවා.

මහා විහාර කැණීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ලුම්බිණියේ කැණීම් කටයුතු සිදුකළ මායාදේවී කැනීම් කණ්ඩායම විසින් එම කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ වගේම බුදු දහම තවත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙම වසර අවසානයට පෙර ලබා ගැනීමට කටයුතු කරනවා.

රජයක් හැටියට ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාම සඳහා සහාය ලබාදීමට කටයුතු කරනවා. මෙම ආයතනය මඟින් ජාත්‍යන්තර බෞද්ධ රටවල් අතර සබඳතා ඇතිවීම සිදුවෙනවා. ඒ වගේම තායිලන්ත අගමැතිවරයා සමග ඉදිරි දින කිහිපය තුළ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම මඟින් බෞද්ධ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

තාක්ෂණික යුගය එක තැන නතර වී තිබෙන්නේ නැහැ. අද තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී තිබෙනවා. අද අපි ස්වයංක්‍රීය යන්ත්‍ර දකිනවා. කෘත්‍රීම බුද්ධිය සමග ඒවා ක්‍රියාත්මක වෙනවා. මේ දියුණුව කෙළවර කුමක්ද කියා අප අවධානය යොමු කළයුතුයි. මේ පිළිබඳ අද බටහිර රටවල විශාල ලෙස විවාද සිදු වෙනවා. එසේ නම් අපේ ආගමික දියුණුව සහ බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතයට ගත යුතුයි. ඒ නිසා අධ්‍යාපන ඇමතිවරයා සමඟ සාකච්ඡා කර සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. එම තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීමට ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා. දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.

දැන් අප සිටින තාක්ෂණික යුගය මෙතෙක් නොතිබූ යුගයක්. පරමාණු බෝම්බය නිපදවූවාට පසුව අප සිතුවේ ඒ තාක්ෂණය එතනින් අවසන් කියලයි. මෙම නවීන තාක්ෂණය පාලනය නොකළහොත් එය පරමාණු බෝම්බයට වඩා භයානක වෙනවා. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කළයුතුයි කියා මම ප්‍රකාශ කරනවා.

Previous articleදැන් උදා වී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි ඒ සදහා හැකියාවක් ඇත්තේ ජනාධිපතිතුමාට පමණයි
Next articleනිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here