Home අද වසර 03කට පසු දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රුපියල් මිලියන 11,250ක්

වසර 03කට පසු දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රුපියල් මිලියන 11,250ක්

7954
0

වසර 03කට පසුව මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අය වැය ලෙස වෙන් කර ඇති බවත්, එම මුදල් එළැඹෙන ජනවාරි මාසයේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේදීය.
රට මුහුණදුන් ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර 03ක කාලයක් දිස්ත්‍රික්ක සඳහා විමධ්‍යගත අයවැය ලබා නොදීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකය මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු බිම් මට්ටමේ ව්‍යාපෘති කඩා වැටීමකට ලක් වූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘති නැවත කඩිනම් කර ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

සංවර්ධන කාර්යයේදී මධ්‍යම රජය සහ පළාත් සභා ලෙස බෙදී වෙන් නොවී සියලුදෙනා එකම වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2024 අයවැය ක්‍රියාත්මක කිරීමේ දී ඒ ඒ දිස්ත්‍රික්ක අනුව සංවර්ධන අරමුදල් බෙදී යාම සම්බන්ධයෙන් මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කෙරිණි.

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත් අනෙකුත් ව්‍යාපෘතිවලට සමගාමීව මෙය ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ලෙස හඳුනාගනිමින් ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්විම යටතේ ක්‍රියාත්මක වන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
වැඩිදුරටත් මෙසේද පැවසීය.

වසර 03ක් රජයේ ප්‍රාග්ධන වියදම් සිදු කෙරුණේ නැහැ. මධ්‍යම රජයේ පමණක් නොවෙයි පළාත් සභා සියල්ලෙම කටයුතු නතර වුණා. මේ හේතුවෙන් ගමේ ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක් වුණා. ගම් මට්ටමේ ව්‍යාපාර ගණනාවක් බිඳ වැටුණා. ඒ වගේම සංචාරක කර්මාන්තය කඩාවැටීම නිසා තවත් හානියක් සිදු වුණා.

දිස්ත්‍රික් මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළ අප දැන් ආරම්භ කර තිබෙනවා.
බිම් මට්ටමේ ආර්ථිකය නැවත නගා සිටුවිය යුතුයි. අප මෙවර විමධ්‍යගත අය වැය ලෙස විශාල මුදලක් වෙන් කර තිබෙනවා. එම ප්‍රතිපාදන සෑම දිස්ත්‍රික්කයකටම ලබා දෙනවා. ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් නියෝජිතයන් සමග සාකච්ඡා කර එම සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනා ලබාගත යුතුයි.

එක් එක් දිස්ත්‍රික්ක සඳහා ලබාදුන් මුදල්වලට අමතරව කඳුරට ප්‍රදේශවලට තවත් වැඩිපුර මුදලක් ලැබෙනවා. තවත් වසර 05ක් 06ක් යන තෙක් කදුරට ප්‍රදේශවල සංවර්ධනය සඳහා එම මුදල් ලබා දීමට අප අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මෙය වෙන් කර තිබෙන්නේ කඳුරට ප්‍රදේශයේ නොදියුණු සිංහල හා ද්‍රවිඩ ගම්මාන දියුණු කිරීම සදහායි.

ඊට අමතරව පළාත් සභාවලට වෙන් කර තිබෙන මුදල් තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශවලට වෙන් කර තිබෙන ප්‍රාග්ධන මුදල් තිබෙනවා. ඒ වගේම විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා වූ බාධක ඉවත් කර බිම් මට්ටමේන් පහසුකම් සලසා දිය යුතුයි.

වසර 03ක් අතපසු වූ සංවර්ධන කටයුතු එක්වර ආරම්භ කිරීම පහසු කටයුත්තක් නොවෙයි. ඒ වගේම විදේශ ණය සහන යටතේ සිදු කෙරෙන ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කිරීමට තිබෙනවා. මේවා එකවර ආරම්භ කළ ඒවා නොවෙයි. වසර 05ක්, 06ක් පුරා සිදු කෙරුණු කටයුතු. නමුත් අපට මෙම සියල්ල එකවර ආරම්භ කිරීමට සිදුව තිබෙනවා. මෙම කටයුතු සඳහා සියලු නිලධාරීන්ගේ සහාය අවශ්‍යයි. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලන නියෝජිතයන්ගේ අදහස් සහ යෝජනා අවශ්‍යයි.

මෙහිදී සෑම පළාතකම ප්‍රධාන ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන්, මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් යුතුව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කළයුතුයි.
ඒ වගේම ආණ්ඩුකාරවරයා, ප්‍රධාන ලේකම්වරයා, නව පළාත් කමිටුවේ සභාපතිවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් එක්වි මාසිකව මෙම කටයුතු අධීක්ෂණය කළයුතුයි.
මෙම සියලු කටයුතුවල අවසාන පරමාර්ථය වන්නේ ගමේ ජනතාවට මෙහි වාසිය ලබාදීමයි. ගමට මුදල් ලැබෙන ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. රටේ ආර්ථිකය නගා සිටුවන අතරම ගමේ ආර්ථිකය ද අප ඉහළ නැංවිය යුතුයි.

ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන සමග ඊළග වසර දෙක තුළ කෘෂි නිෂ්පාදන ඉහළ යනවා. කෘෂි නිෂ්පාදන වැඩිකර තරගකාරී කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපගේ අරමුණ වන අතර එහි මධ්‍ය කාලීන වාසිය ගමේ ආර්ථිකයට ලබා දිය යුතුයි.

ඒ නිසා ගමේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට පැවරෙනවා.
මෙහිදී විසදාගත නොහැකි ගැටළු තිබෙනම් ඒවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන කමිටුවට ඉදිරිපත් කර විසදුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේත් නොහැකි වූ අවස්ථාවක එම ගැටළු මා කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

Previous article  ආර්ථික වර්ධනය වේගවත් කිරීමට පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතුයි    
Next articleශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් සගයෙක් එකතුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here