Home අද COP 28 සමුළුව අද සිට – ලංකාවෙන් විශේෂ යෝජනා 03ක්

COP 28 සමුළුව අද සිට – ලංකාවෙන් විශේෂ යෝජනා 03ක්

1944
0

‌ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ පැරිස් සම්මුතියේ 28 වැනි සමුළුව හෙවත් එක්සත් ජාතීන්ගේ කාලගුණ සමුළුව ( COP-28)  අද(30දා) ඩුඩායි හිදී ආරම්භවීමට නියමිතව තිබේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අනතුරු නොවන තත්වයක පවත්වාගැනීම සහ පැරිස් කාලගුණ සම්මුතියේ වගන්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

කාලගුණ විපර්යාස අවමකරගැනීම සඳහා ලෝක නායකයින්ගේ කැපවීම අවම මට්ටමක ඇති බවට පරිසරවේදීන් දිගින් දිගටම චෝදනා කරන කරන පසුබිමක මෙවර සමුළුව පැවැත්වේ. පසුගිය වසර තුළ හරිතාගාර වායු විමෝචනය 1% න් ඉහළගොස් ඇති බවද මේවනවිට අනාවරණය වී තිබේ.

හරිතාගාර වායු විමෝචනය අඩුනොකළහොත් වායුගෝල ඉදිරි දශකය තුළ 03% න් ඉහළ යාමුට ඉඩඇති බවටද අනාවැකි පළවී ඇත.

ඒසමගම අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ “දේශගුණික යුක්ති සංසදය” ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා තුනක් මෙවර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

 

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP 28) රාජ්‍ය නායකයන්, රාජ්‍ය – පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියාකරනු ඇති බව ද අලි සබ්‍රි මහතා සඳහන් කළේය.‍

 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඇමැතිවරු තිදෙනෙක් සහ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු දෙදෙනක් සහභාගී වන බවයි. එසේම රජයේ වියදමින් තොරව තරුණ නියෝජිතයන් විසි දෙනෙකු සහ බලශක්ති හා පරිසර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් හා මාධ්‍ය කණ්ඩායමක් ඊට එක්වන බවද අමාත්‍යවරයා පැවසීය.

 

 

 

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම මිත්‍යාවක් බව ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරනවා. නමුත් එය මිත්‍යාවක් නෙමෙයි. පරිසර විනාශය දිගින් දිගටම සිදුවුවහොත් ලෝකයේ පැවැත්මට හානි සිදු වෙනවා. කාර්මික විප්ලවයට පෙර ඇති කරගත් සම්මුතියකට අනුව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව වාර්ෂිකව පැවැත්වෙනවා.

 

විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලින් බලපෑමට ලක් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල් බව කිව යුතුයි. නිවර්තන කලාපයේ වැසි වනාන්තර පිහිටා තිබීම මෙන්ම විවිධ වූ ස්වභාවික විවිධත්වයන් පෝෂණය කරනවා. නිවර්තන කලාපයේ රටවල් 136 ක් තිබෙනවා. ලෝක ජනගහණයෙන් 40%ක් එම රටවල ජීවත් වෙනවා. පරිසර දූෂණය සිදුවන්නේ කාර්මික විප්ලවයත් සමඟයි. කාර්මික විප්ලවය සිදු කරන රටවල්වලට වඩා පරිසර දූෂණයේ බලපෑම ඇතිව තිබෙන්නේ කාර්මික විප්ලවය අවම වශයෙන් සිදුකරන රටවල් වලටයි.

 

එම නිසා මෙවර සමුළුවට ප්‍රතිපත්තිමය වශයෙන් වූ නව තීන්දු තීරණ කිහිපයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

 

ශ්‍රී ලංකාව ඇතුළු ආපදාවන්ට මුහුණ දෙන රටවල් සියල්ල ඒකරාශී වී කණ්ඩායමක් වශයෙන් ක්‍රියාකිරීමටත්, පරිසර දූෂණය අවම කිරීම මෙන්ම පරිවර්තනයන් සිදුකිරීම සඳහා අවශ්‍ය ආයෝජනය ජාත්‍යන්තර ප්‍රජාව තුළින් ලබාදිය යුතු බවටත් වන මැදිහත් වීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව නායකත්වය ලබාදෙමින් ක්‍රියාත්මක කරන දේශගුණික යුක්ති සංසදය තුළින් දේශගුණික විපර්යාස අඩු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම, එකිනෙකා සතුව තිබෙන අදහස් හා යෝජනා හුවමාරු කිරීම මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුළින් අවශ්‍ය ආයෝජනයන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා නිවර්තන තීරයේ රටවල් කිහිපයක් දැනටමත් එයට සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා.

 

එසේම ජනාධිපතිතුමාගේ උපදෙස් මත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවට අප ඉදිරිපත් කරනවා. මෙවර සමුළුවට වැඩියෙන්ම යෝජනා ඉදිරිපත් කරන රට බවට ශ්‍රී ලංකාව පත්විය හැකියි. සමුළුවට ඉදිරිපත් කරන යෝජනා කට වචනයට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බව අපගේ විශ්වාසයයි.

 

Previous articleජනපති අද ඩුබායි යයි
Next articleසජිත් නිවාස අමාත්‍යාංශ වැය ශිර්ෂය මඟහරියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here