Home අද ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම අරමුණයි

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම අරමුණයි

1380
0

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ    21දා  පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

“ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම සම්මේලනයේ දී සංශෝධනයට ලක් කෙරුණු පක්ෂ නව ව්‍යවස්ථාව ද එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත විය.

එක්සත් ජාතික පක්ෂයට මාර්ගගත ක්‍රමයට අනුව සංවිධාන ඇති කිරීමට අවස්ථාව ලබා දෙමින් පක්ෂය ඩිජිටල්කරණය කිරීමට අදාළව මෙම සංශෝධනය සිදු කර තිබේ. ස්මාර්ට් රටට පෙර ස්මාර්ට් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.‍

ස්මාර්ට් රට ගොඩනැගීම “මගෙන් පටන් ගනිමු” යන්න සංකේතවත් කරමින් එළිදැක්වුණු ලාංඡනය මෙහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පැළඳවිය.

එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ “සිය රට” පුවත්පතේ පැරණි කලාපයක් එහි නිර්මාතෘ මායා කළුබෝවිල මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වු අතර ජනාධිපතිවරයා එය පක්ෂයේ මහලේකම්වරයා වෙත භාරදුන්නේය.

සම්මේලනය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ස්මාර්ට් රටක් ගොඩනැගීමට සියලු ක්ෂේත්‍රවල දූෂණය පිටුදැකිය යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය ආයතන තුළ මෙන්ම දේශපාලන පක්ෂ තුළද දූෂණය මැඩලීම සඳහා අණ පනත් රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.

එසේම රටේ ආර්ථිකය ගොඩනඟන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ස්මාර්ට් පක්ෂයක් ලෙස ඉදිරියේ දී රට වෙනුවෙන් පුළුල් කාර්ය භාරයක් ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂය පෙරට ආ යුතු බවද අවධාරණය කළේය.

මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය සඳහා සුභාශිංසන එක් කර තිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, එක්සත්ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, උප නායක නීතිඥ අකිල විරාජ් කාරියවසම්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් ද මෙහිදී සම්මේලනය ඇමතූහ.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද හිටපු අමාත්‍යවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහූ සහ දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් පැමිණි පාක්ෂිකයන් විශාල පිරිසක් සම්මේලනයට එක්ව සිටියහ

 

Previous articleරාජ්‍ය ඇමති ඩයනා රෝහල් ගතකරයි
Next articleIMF ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කෙරුණා – මුදල් රාජ්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here