Home අද අභියෝගවල සිට ශ්‍රී ලංකාව නැවතවරක් ප්‍රකෘතිමත් මාවතකට පිවිසිලා

අභියෝගවල සිට ශ්‍රී ලංකාව නැවතවරක් ප්‍රකෘතිමත් මාවතකට පිවිසිලා

2660
0

ශ්‍රී ලංකාව නැවතත් ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකා තානාපති ජුලි චන්ග් මහත්මිය පවසනවා.

ඊයේ (14) කොළඹදී ආරම්භ වූ 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අද සිට දින හතරක් පැවත්වෙන අතර මේ සඳහා සත්කාරකත්වය දක්වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවය.

ඊට රටවල් 28 ක ආරක්ෂක නිලධාරීන් 128 දෙනෙකු සහභාගි වුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති ජුලි චන්ග් මහත්මිය,

“ශ්‍රී ලංකාව ප්‍රථමවරට මෙවර මෙම කාර්යයට සම සත්කාරකත්වය දැක්වීම ගැන මම බෙහෙවින් ආඩම්බර වෙනවා. පසුගිය වසරේ පැවති අභියෝගවල සිට ශ්‍රී ලංකාව නැවතවරක් ප්‍රකෘතිමත් මාවතකට පිවිස ඇති ආකාරය එමගින් අවධාරණය කරනවා. සැබැවින්ම ජාත්‍යන්තර සහ කලාපීය මධ්‍යස්ථානයක කාර්යභාරයයි ඔබ ඉටු කරන්නේ. ශ්‍රී ලංකාව නිදහසේ 75 වැනි වසර සහ එක්සත් ජනපද – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන වසර සලකුණු කරන 2023 වසරේ ශ්‍රී ලංකාව මෙම සත්කාරකත්වය දැරීම විශේෂයි. මෙම වැදගත් සන්ධිස්ථානය සලකුණු කරන්න මීට වඩා හොඳ අවස්ථාවක් නැහැ. මෙම සංවාද සමුළුවේ අරමුණ කලාපීය රටවල් එක්වී ගෝලීය අවධානයට ලක්වන ගැටලුවලට විසඳුම් සෙවීමයි. කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ පාරිසරික ආරක්ෂක වැඩසටහන් සඳහා එක්සත් ජනපදයේ සහාය හිමිවනවා. ලෝකය පිළිබඳ අපේ දැක්ම වන්නේ සාර්ථකත්වය හා ස්ථාවරත්වය උදෙසා ලොකු කුඩා සෑම රටකටම සම අවස්ථාවක් හිමිවීමයි. ඔබ ෆීජි දිවයිනේ, ඔස්ට්‍රේලියාවේ, මොගෝලියාවේ හෝ ශ්‍රී ලංකාවේ වාසය කළත් අප සියල්ලන් මුහුණ දෙන්නේ එකම අවදානමකටයි. අපට මේ වසරේ දැඩි කාලගුණ සංසිද්ධීන්ගෙන් ලොව පුරා ජනතාව පීඩාවට ලක්වන ආකාරය දැකගන්න ලැබුණා. නියඟයෙන් දැන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයටත් බලපෑම් ඇති කරනවා. ඒ නිසයි අපි එක්වී අදහස් බෙදා ගැනීම වැදගත් වන්නේ. එමඟින් මෙම පොදු අභියෝගයන්ට මුහුණ දීමට නිර්මාණශීලි මංපෙත් සොයාගැනීමට හැකිවේවි.”

Previous articleඅනුර කුමාර දිසානායකට  STF ආරක්ෂාව ලබාදේ
Next articleමඩු මාතාවගේ ආශිර්වාදය අපිටත් ශක්තියක් – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here