Home අද ‘අපිට හදිස්සියක් නෑ’ කෙහෙළියගේ විශ්වාසභංගය සජිත් නිසා කල් යන ලකුණු

‘අපිට හදිස්සියක් නෑ’ කෙහෙළියගේ විශ්වාසභංගය සජිත් නිසා කල් යන ලකුණු

2440
0

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පාර්ශ්වය උත්සාහ කළත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට පසුබටවීම හේතුවෙන් එය දින නියමයක් නොමැති තැනට පත්ව ඇති බව වාර්තා වෙයි.

විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) එහි සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එහිදී සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් මේ සඳහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත.

එහිදී සභානායකවරයා දැනුම්දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව එළඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා අදාළ අමාත්‍යවරයා ද එකඟතාව පළකර ඇති බවත්ය.

එහිදී සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා ඇත්තේ විශ්වාසභංග යෝජනාව එළඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට තරම් හදිසියක් නොමැති බවය.

එහිදී සභානායකවරයා යළිත් ඔවුන් වෙතින් විමසා ඇත්තේ එළඹෙන සතියේ දිනයක් වුවද ඊට ලබාදිය හැකි බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ එළඹෙන සතියේ ක්‍රිකට් ආයතනයේ ගැටලුව විවාදයට ගැනීමට ඇති බැවින් එය වැදගත් බවය.

එහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කතානායකවරයාද විපක්ෂ නායක සහ ඔහුගේ නියෝජිතයන් වෙතින් ඉල්ලා ඇත්තේ සැප්තැම්බර් මාසයේ ආරම්භක සතියේ දිනයක් හෝ ලබාදී එම කටයුත්ත අවසන් කිරීමට සහය දෙන ලෙසය.

නමුත් ඒ සඳහා ද විපක්ෂ නායක ප්‍රමුඛ ඔහුගේ නියෝජිතයන් එකඟතාවක් දක්වා නැති අතර ඔවුන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ, “අපිට හදිසියක් නෑ ” කියාය.

අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා සභාපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත්, නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්. පීරිස් , රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, සාගර කාරියවසම්, එම්. ඒ . සුමන්තිරන්, එරාන් වික්‍රමරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු , ගාමිණී ලොකුගේ, ඒ.එල්.එම්. අතාවුල්ලා යන මැතිඇමතිවරුන් සහභාගීව ඇති අතර ආරංචිමාර්ග සඳහන් කරන්නේ විශ්වාසභංග යෝජනාව ගෙනෙනු ලැබූ සමගි ජනබලවේගය පක්ෂයම එය විවාදයට ගැනීම සඳහා දින නියම කිරීමට පසුබටවීම හේතුවෙන් එය දින නියමයක් නොමැති තැනට පත්වූ බවය.

කෙසේ වුවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය ගෙනෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාරදීම සිදුකෙරුණේ පසුගිය (ජූලි 21) වනදා වන අතර එහිදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවේ පවසා සිටියේ අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 45 දෙනෙකු අත්සන් තබා ඇති බවය.

තම විශ්වාසභංග යෝජනාවේ කාලීන බව සැළකිල්ලට ගනිමින් ආණ්ඩුව එය කඩිනමින් විවාදයට ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනක දීම සඳහන් කර තිබිණ.

Previous article13 ගැන කියන්න ජනපති හෙට (09) පාර්ලිමේන්තුවට
Next articleජාතියේ වර්ධනයට ගැළපෙන අයුරින් 13 ක්‍රියාත්මක කිරීම වැදගත් – ජනපති පාර්ලිමේන්තුවට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here