Home අද ලංකාවේ අධ්‍යාපනය දැන්වත් උසස් වේවිද?

ලංකාවේ අධ්‍යාපනය දැන්වත් උසස් වේවිද?

2478
0

ශ්‍රී ලංකාවේ දරුපරපුරේ අධ්‍යාපනය සම්බන්දයෙන් රාජ්‍යයට පැහැදිලි හා නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හදුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කාරණය ඉදිරිපත් කර ඇත. රටේ පවතින සැබැ ප්‍රශ්නයක් හදුනාගෙන ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කළ මෙම වාර්තාව විශේෂ වේ.

රටතුළ නිසි අධ්‍යාපන පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් දුෂ්කරතා රැසකට  ළමා පරපුර මුහුණදී සිටින අතර නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් නොලැබෙන හෙයින් ආර්ථිකමය දුෂ්කරතාවයන්ටද තරුණ පරපුර මෙන්ම රට මුහුණ දී සිටියි. පාර්ලිමේන්තුවේ අදාළ කමිටුව මගින් මුලික අධ්‍යාපනය , ප්‍රාථමික , ද්වීතීයික සහ උසස් අධ්‍යාපන යන සියලු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුකර නිර්දේශ නිකුත්කර ඇති අතර මේ සම්බන්ධයෙන් රටේ පුලුල් කතාබහක් නිර්මාණය විය යුතුව තිබේ.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කළ අතර අමාත්‍යවරුන් වන , රමේෂ් පතිරණ , සීතා අරඹේපොළ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද් කුමාර් , සුරේන් රාඝවන් , රවුෆ් හකීම් , අනුර ප්‍රියදර්ශන යාපා , තිස්ස අත්තනායක , ඉරාන් වික්‍රමරත්න , රෝහිණී කුමාරි විජේරත්න , රංජිත් බණ්ඩාර , චරිත හේරත් , හරිනි අමරසුරිය යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කර තිබේ. මාස 06 ක කාලයක් තුළ සිදුකළ සොයාබැලීමකින් පසුව අදාළ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එහි සභාපතිවරයා විසිනි.

ශ්‍රී ලංකාව තුළ  අ.පො.ස උසස් පෙළ විභාගය ඉහළින් සමත්වන විශාල පිරිසකට උසස් අධ්‍යාපනය අහිමිවන  බැවින් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුව ඇති බව , උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක නිර්දේශ ඉදිරිපත් කර තිබේ . එමෙන්ම අනිකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ

මුල් ළමාවිය අධ්‍යාපනය

මුල් ළමාවිය අධ්‍යාපනය රාජ්‍ය ඇතුළු බලධාරීන් විසින් නොසලකා හරින ලද  ක්ෂේත්‍රයන්  බව මෙම කාරක සභාව විසින් නිරීක්ෂණය කර තිබේ. සැබැවින්ම රටේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති අතර එය අක්‍රමවත්ව සිදුවන්නක් බවට පත්ව තිබේ. ඔනෑම පුද්ගලයෙකුගේ මුල් ළමාවිය සංවර්ධනය ක්‍රමවත්ව සිදුවිය යුතු අතර එය අනාගත ආයෝජනයකි. මෙලෙස වැරදි සහ අයෝග්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමෙන් දරුවන් අධ්‍යාපනය සම්බන්ධයෙන් අධෛර්ය නොකිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම රජයේ වගකීම බවක් බවද මෙම කාරක සභාව මගින් අවධාරණය කර තිබේ. ඒබැවින් මුල් ළමාවිය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සුදුසු ආකාරයේ වැඩපිළිවෙලක් මෙන්ම ගුරුවන් පුහුණු කිරීම සඳහා ද ආයතන ඇතිකිරීමට රජය කටයුතු කළ යුතුව තිබේ.

ජනප්‍රිය පාසල් නිසා අනවශ්‍ය තරඟයක්

ජාතික පාසල් හා පළාත් පාසල් ලෙස වර්ග කිරීමෙන් සිදුව ඇති යහපතට වඩා අයහපත් තත්වයක් ඇතිවී තිබෙන බව මෙම කොමිසම මගින් හදුනාගෙන තිබේ. මේ නිසාම ජාතික පාසල් හෝ ජනප්‍රිය පාසල් නිසා අනවශ්‍ය තරගයක් නිර්මාණය වී ඇති අතර දෙමාපියන් අල්ලස්  ව්‍යාජ ලියැකියවිලි සැකසීමට පෙළඹී ඇති  බවද කොමිෂන් සභාව හදුනාගෙන තිබේ. අවසානයේදී දෙමාපියන් හෝ දරුවන් අපේක්ෂා කළ ප්‍රතිඵලය අත්කරගැනීමට නොහැකි වන බවද මෙමගින් අනාවරණය කරගෙන ඇත. මෙම කාරණය කාලයක් පුරාවට සමාජයේ විවිධ පාර්ශව විසින් මතුකළ කාරණයකි. සියලු පාසල් මගින් සම අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව උදාකරනවා වෙනුවට ජනප්‍රිය පාසල් ඇතිකිරීමෙන් සමාජය තුළ නිර්මාණය වු අනවශ්‍ය තරඟය මේවනවිට පාලනය කළ නොමැකි තත්වයකට පත්ව තිබීමද කණගාටුවට කරුණකි.

ජාතික සමගියට බාධා ඇතිකරන – ආගම් භාෂා අනුව වෙන්කළ පාසල්

ඒමෙන්ම ජනවර්ගය භාෂාව ආගම මත පදනම්වන අධ්‍යාපනය සඳහා වෙන වෙනම පාසල් විවෘත කිරීම මගින්  සමාජය තුළ ජනවාර්ගික බෙදුම් ඇතිකිරීමට හා ආගමික අසමගියට දායකවී ඇති බවත් එය ජාතික සමඟියට බාධාවක් වී ඇති බවත් මෙම කොමිටුව හදුනාගෙන තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් බොහෝ කාලයක් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අතර නූතන ලෝකයට මෙවැනි බෙදා වෙන්කිරීම් කිසිසේත්‌ නොගැලපෙන බව පෙන්වා දුනි. ඒ සම්බන්ධයෙන් මෙතෙක් කාලයක් ගතවීමෙන් පසුව හෝ පාර්ලිමේන්තුවේ අවධානය යොමුවීම වැදගත් කාරණයකි.

මෙරට අධ්‍යාපනය තුළ වෘත්තිය අධ්‍යාපනය සඳහා සිසුන් දිරිමත් කිරීමට ප්‍රමාණවත් ආකාරයේ සැලැස්මක් ද්වීතියික අධ්‍යාපන ධාරාව තුළ නොමැති බව කාරක සභා වාර්තාව මගින් අවධාරණය කර තිබේ.

එමෙන්ම අධ්‍යාපනය ලබාදීමේදී රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ළමුන් වෙන් වෙන් වශයෙන් සැලකීමකින් තොරව සමාන අධ්‍යාපනක් ලබාදීම තහවුරු කිරීම සදහා දරුවන්ගේ වයස අනුව සුදුසු විෂයමාලාවක් රජය සකස් කළ යුතු බවද ඔවුන් නිර්දේශ කර තිබීම ඉතාමත් වැදගත් කාරණයක් ලෙස සැලකිය හැකියි.

ශිෂ්‍යත්වය අනවශ්‍ය පීඩනයක්

05 වසර ශිෂ්‍යත්ව විභාගය හරහා වැඩෙන වයසේ දරුවන්ට අනිසි පීඩනයක් එල්ලකර තිබෙන බව මෙම කමිටුවේදී සාකච්ඡාවට භාජනයවී ඇත. මෙලෙස අනවශ්‍ය පීඩනයක් එල්ලවීම නිසා නිසා පසුකාලීනවද එම දරුවන්ගේ අනපේක්ෂිත විවිධ මානසික පීඩනයන් ඇතකිරීමට ඉඩ තිබෙන බවද අනිකුත් රටවල ළමුන් මත එවැනි අනවශ්‍ය සහ වෙහෙසකර තරඟකාරීත්වයක් පැටවීම අහෝසි කර තිබෙන බවද කාරකසභාව පෙන්වාදී තිබේ. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ජාතික පාසල් වෙනුවට පොකුරු පාසල්

ජාතික පාසල් සංකල්පය වෙනුවට පොකුරු පාසල් ක්‍රමවේදය ඇතිකිරීමට මෙම කාරක සභාව යෝජනා කර ඇත. ඒ අනුව සෑම කලාපයකම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් සභාවල වගකිවයුතු කොටස්කරුවන්  සහිත ඒකාබද්ධ කමිටුවක් සෑම පළාතතම ඇතිකළ යුතු බවත් ඒ හරහා පොකුරු පාසල් පිහිටුවීම සිදුකළ යුතු බවත් නිර්දේශ ලෙස ඉදිරිපත් කර තිබේ.   පොකුරු පාසල් ක්‍රියාත්මක කිරීමේදී  ප්‍රාථමික පාසල් මගින් 01 ශ්‍රේණියේ  සිට 07 ශ්‍රේණි දක්වාත් , ද්වීතියික පාසල් මගින් 8 සිට උසස් පෙළ දක්වා අධ්‍යාපන අවස්ථා ලබාදීමට කටයුතු කිරීමට යෝජනා කර තිබේ. එමෙන්ම මේවනවිට ජාතික හා පලාත් ලෙස පවතින ගුරු සේවය රජයේ පාසල් වල මධ්‍යගත ගුරු සේවකයක් ලෙස ස්ථාපිත කිරීමටත් හරහා ඒකමතිකභාවයක් ඇතිකිරීමටත් යෝජනා කර තිබීම වැදගත්ය.  මේවනවිට පවතින අසමිතිකභාවය හේතුවෙන් ඇතැම් පාසල්වල ගුරු අතිරික්තයක් සිටින විට තවත් පාසල් ගුරු හිඟයකට මුහුණ දී සිටියි. වෙනස් වීමේදි මේ සියල්ල වෙනස්විම වැදගත්ය.

විභාග ක්‍රමය වෙනස් විය යුතුයි

පාසල් විෂය මාලාව සහ ඇගයීම් ක්‍රමවේද කෙරෙහිද කාරක සභාවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව බුද්ධිය සහ ප්‍රඥාව ඉහළ නංවන ප්‍රජාත්‍රන්ත්‍රවාදී සහ සංස්කෘතික සම්මතයන් නවීන අධ්‍යාපන ක්‍රම සහ විෂය මාලා තුළට  හදුන්වාදීම. තාක්ෂණ විද්‍යා ක්ෂේත්‍ර සහ නව ප්‍රවණතාවයන් ඇති ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛත්වය දීමෙන් විෂය මාලා සකස් කළ යුතු බවට ඔවුන් නිර්දේශ ඉදිරිපත් කර ඇත. තවද පාසල් පාදක ඇගයීම් මත 50% ක් සහ විභාග පාදක සමත්වීම මත 50% ක් ලෙස මිශ්‍ර ලකුණු ක්‍රමයක් මගින් විශය මාලා සරල කිරීම සහ පාසල් ඇගයීම් මත මිශ්‍ර ක්‍රමයක් අනුමගනය කිරීම වැදගත් බවද ඔවුන් පෙන්වාදි තිබේ.

සාපෙළ 10 වසරේදී – උපෙළ 12 වසරේදී

අපොස සාපෙළ විභාගය 10 වසරේදී  සහ අපොස උසස් පෙළ 12 වසරේදී පැවැත්වීමට යෝජනාව කර තිබීම කාරක සභාව ඉදිරිපත් කර තිබෙන විශේෂමතම යෝජනාවකි. එම ශ්‍රේණිවලදී අදාළ විභාග සඳහා මුහුණ දීමට තරම් සිසුසිසුවියන් පරිණත බැවින් ඔවුන් ඒ සඳහා සුදානම් කිරීමට යොමුකිරීම වැදගත් බව කාරක සභාව පෙන්වා දී තිබේ. මේවනවිට බොහොමයක් සිසුසිසුවියන් අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා යොමුවන බැවින් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමද අවශ්‍යම කාරණයක් බවට පත්ව තිබේ.

පෞද්ගලික අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් තවමත් නැහැ

අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබද අවධානය යොමුකිරීමේදී රාජ්‍ය අධ්‍යාපනය මෙන්ම පෞද්ගලික අධ්‍යාපනයද වැදගත් වේ. මේවනවිට මෙරට ප්‍රාථමික , ද්වීතියික හා තෘතියික අංශයන්හි පෞද්ගලික අධ්‍යාපනය සඳහා ද අවස්ථාව හිමිව තිබෙන අතර එය ප්‍රතිපත්ති පාදක ක්‍රමවේදයකට නොව ඒ ඒ අවස්ථාවට අනුව යොදාගත් ක්‍රමවේදයන්ට අනුව ඉදිරියට යමින් තිබෙන බව සියල්ලෝම දන්නා කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස වඩාත් ඉහළ ලාභ ඉපයීම කෙරෙහි ප්‍රමුඛත්වය දෙමින් පෞද්ගලික අධ්‍යාපනය පුළුල් වී ඇති බව මෙම කාරක සභාවේ අවධානයට ලක්ව තිබේ.  මේ නිසාම නිසි නියාමනයකින් යුතුව පෞද්ගලික අධ්‍යාපනය  ප්‍රතිපත්තියතට අනුගතකරවීමට රාජ්‍යය අපොහොසත් වී ඇති බව කාරක සභාව හදුනාගෙන ඇති අතර එය කඩිනමින් කළ යුත්කත් බවද නිර්දේශ මගින් දක්වා තිබේ.

නියාමනය කළ යුතුම ජාත්‍යන්තර පාසල්

කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් නියාමනය නොකරන ජාත්‍යන්තර පාසල් රාශියක් රටතුළ ඇති බව හදුනාගෙන ඇත.  ජාත්‍යන්තර පාසල් ලේබලය යටතේ පෞද්ගලික සමාගමක් ලෙස ක්‍රියාත් වන මේවායේ ප්‍රමීතීන් ජාත්‍යන්තර තත්වයෙන් යුතු බව තහවුරු කිරීමට සහ ඒවා රජය විසින් සම්මත කර ඇති මුලික ප්‍රතිපත්ති වලට අනුකූල වන ලෙස නියාමනය කිරීමට යාන්ත්‍රණයක් හෝ අධිකාරියක් නොමැති බව අධ්‍යාපනය සම්බන්ධයෙන් බැලීමේදී කණගාටුවට කාරණයකි. එබැවින් ජාත්‍යන්තර පාසල් නියාමනය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් විය යුතු බව මෙම කාරණ සභාව නිර්දේශ ඉදිරිපත් කරමින් දැනුම්දී තිබේ.

එමෙන් ලියාපදිංචිය , සම්පත් යොමුකිරීම , යටිතල පහසුකම් , හැකියාවන් , ගුණාත්මකභාවය, ප්‍රමීතීන්, සමාජ වගකීම් යනාදී අංග ඇතුළත් වන පරිදි සියලුම පෞද්ගලික පාසල් අධීක්ෂණය කිරීමට රජය  විසින් නිති සම්පාදනය කළ යුතු බව කාරක සභාව සඳහන් කර ඇත. රජයේ සහ පෞද්ගලික පාසල් යන දෙවර්ගයෙහිම කිසිදු වෙනසක් හෝ විශේෂයක් නොමැතිව අනිවාර්ය විෂයන් සඳහා ප්‍රමිතගත විෂය මාලාවක් තිබිය යුතු ලෙස ඉදිරිපත් කර ඇති නිර්දේශයද ඉතාමත් වැදගත් වන්නේ අධ්‍යාපනයේදී සමානබවක් තිබිය යුතු බැවිනි.

දෙමාපියන් හුරාගෙන කන පෞද්ගලික පංති 

මේවනවිට රටතුළ පෞද්ගලික පංති මාෆියාවක් නිර්මාණය වී තිබේ. කිසිදු නියාමකයට යටත් නොවී අධික මුදල් අයකරමින් පෞද්ගලික පංති ක්‍රියාත්මක වේ.  පෞද්ගලික පංතිවල ගාස්තු දෙමාපියන්ට දැරිය නොහැකි මට්ටමක පවතින අතර, පංති පවත්වන ස්ථානවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය මුලික පහසුකම් පවා ලබානොදෙන තත්වයක් ඇතිවී ඇති බවද කාරක සභාව හදුනාගෙන තිබේ. එබැවින් පෞද්ගලික පංතිවල ගුණත්මකභවාය තහවුරු කරන නියාමන පද්ධයක් ලබාදීමට රාජ්‍ය අපොහොසත් වී තිබෙන බවද ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙන බවද කරකා සභාව පෙන්වා දි තිබේ.

වෙනස් විය යුතු විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය

උසස් අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසිකළ යුතු බවට මෙම කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මේවනවිට විශ්වවිද්‍යාල සිසුන් මෙම කාරණය සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත වෙමින් සියියි. කෙසේවෙතත් මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය සහ අනාගත අධ්‍යාපනය ක්‍රමවේදයක එහි අවශ්‍යතාවය සම්බන්ධයෙන් සලකාබැලීම වැදගත්වනු ඇත.

මෙරට උසස් අධ්‍යාපනය ලබාදීම ක්‍රම කිහිපයකින් සිදුවේ. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන විශ්ව විද්‍යාල 16 ක් සහ විවෘත විශ්ව විද්‍යාලය ඇතුළත්ය.  විවිධ අණපනත් යටතේ පිහිටුවා ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල 05 ක් ඇත. ඒනම්  ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය , බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය , කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය , සාගර විශ්ව විද්‍යාලය , වෘතිතිය තාක්ෂණික විශ්වවිද්‍යාලය වේ. මීට අමතර අමාත්‍යවරයා අනුමැතිය දී ආරම්භකළ ආයතන 24 ක් ඇත. එමෙන්ම විදේශ විශ්ව විද්‍යාල ආයතනවලට අනුබද්ධ උපාධි පිරිනමන ආයතන පිහිටුවා ඇත. මේ සියල්ල නියාමනය වන පොදු ආයතනයක් නොමැති අතර ඒම ආයතන වෙන වෙනම කටයුතු කරමින් සිටියි. එමෙන්ම නුතන අවශ්‍යතා සමග සමපාත වන නිසි ගැලපෙන උසස් අධ්‍යාපන පාඨමාලා රාජ්‍ය විශ්වවිද්‍යාලවල නොමැතිකම  රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රධාන දුර්වලතාවයක් බව කමිටුව හදුනාගෙන තිබේ. එමෙන්ම  රාජ්‍ය විශ්ව විද්‍යාලවල දියුණුව ගුණාත්මක බව ප්‍රමීතීන් සම්බන්ධයෙන් අවධානයට ලක්කළ යුතු බවද ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ මහාචාර්යවරයෙකු මසකට පැය 20 ක් මණ ඉගැන්වීම් කටයුතු වල නිරතවන බව අනාවරණය වී ඇති අතර එක්සත් රාජධානියේ ජේෂ්ඨ මහාචාර්යවරයෙකු මසකය පැය 140 ක් පමණ සේවය කරන බවද මෙම කමිටුව මගින් අනාවරණය කරගෙන තිබේ.

උසස් පෙළ විභාගයෙන් පසුව විශ්ව විද්‍යාලවලට බදවාගැනීමේ ප්‍රමාදය අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්නය රටේ දියුණුවටද බාධාවක් වන බවත් එය වෙනස් කළ යුතු බවට නිර්දේශයක් මෙම කාරක සභා නිකුත් කර තිබේ.

අලුතින් ඇතිකළ යුතු විශ්ව විද්‍යාල

අලුතින් විශ්ව විද්‍යාල කිහිපයක් ආරම්භකිරීමට යෝජනා කර ඇති අතර  සිසුන් 70 000 ට පමණ අවම පාඨමාලා ගාස්තු අධ්‍යාපන අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා පරිගණක විද්‍යා විශ්ව විදයාලය සහ ශ්‍රී ලංකා අතථ්‍ය (virtual) විශ්ව විදයාලය පිහිටුවීම , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම මෙන්ම පෞද්ගලික සහ රාජ්‍ය පාර්ශවකරුවන් සමග සහයෝගයෙන් විශ්ව විද්‍යාල පිහිටුවීම කාරක සභාව යෝජනා කර තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසිකිරීම

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය වෙනුවට නව පනතක් මගින් ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවීම ද , රාජ්‍ය සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සමාලෝචය කිරීම සඳහා  ස්වෘධීන ප්‍රතීතත් නියෝජිතනයක් පිහිටුවිම මෙම කාරක සභාව මගින් යෝජනා කර තිබේ. විශ්ව විද්‍යාල පද්ධතිය මේ ආකාරයෙන් නවීකරණය වීම වර්තමානයට අතවශ්‍යම කාරණයකි.

වසර ගණනාවක් ගතවීමෙන් පසුව හෝ රටේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමක් කිරීමේ මුලික පියවරයක් ලෙස මේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කිරීම වැදගත් කාරණයක් ලෙස සැලකිය හැකිය. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ නියෝජයක් මෙම කමිටුවට ලැබී ඇති අතර විද්වතුන් ඇතුළු බොහෝ පාර්ශවයන් මෙම කමිටුව ඉදිරියේ අදහස් දක්වා තිබේ. මේවනවිට ඉදිරිපත් වි ඇත මෙම යෝජනා නිර්දේශ සම්බන්ධයෙන් සමාජයේ පුළුල් කතාබහක් නිර්මාණය විය යුතු අතර රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරගැනීමට පාලකයෝ මෙන්ම පුරවැසියෝ ද දායක විය යුතුව තිබේ.

Previous articleමාස 6 ක් තුළ නව වෛද්‍ය පනතක් – සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ මග ජනපති පහදයි
Next articleහරීන්, මනූෂ එක්ක යළිත් අලියගේ පිටට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here